කොවිඩ්-19 වසංගතයට පෙර ලැබූ ප‍්‍රගතිය හමුවේ කොමර්ෂල් බැංකුව 2020 වසර ශක්තිමත්ව අරඹයි

May, 21, 2020

කොවිඞ්-19 වංසගත තත්ත්වය හේතුවෙන් ව්‍යාපාරික කටයුතු මන්දගාමී වීමට පෙර ලබාගත් ශක්තිමත් වර්ධනය සහ අනිකුත් ආදායම් වාර්තා කළ අතිවිශිෂ්ට දායකත්වයත් හේතුවෙන් කාර්තුවෙන් කාර්තුවට බැංකුවේ හානි පූරණ ගාස්තු වැඩි වුවත් 2020 වසරේ ශක්තිමත් ආරම්භයක් ලබාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ.

2020 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මාස තුනක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් රුපියල් බිලියන 39.444 ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 12.87% ක වර්ධනයකි. මේ අතර, මෙම කාලයේදී පොලී ආදායම් වර්ධනය 0.83% ක් ලෙස එතරම් වර්ධනය නොවූ මට්ටමක තිබූ අතර පොලී ආදායම රුපියල් බිලියන 31.982 ක් විය. නමුත්, සලකා බලන කාලයේදී බැංකුවේ පොලී වියදම රුපියල් බිලියන 19.466 ක් වෙමින් එය 1.43% කින් අඩුකර ගැනීමට බැංකුව සමත්වී තිබීම කැපී පෙනේ. මෙයට හේතුව වී තිබෙන්නේ බැංකුව විසින් සිය වගකීම් කාලීනව නැවත මිලකරණය කිරීම සහ බැංකුවේ ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් අනුපාතය දියුණු වීමයි. මේ තුළින් බැංකුවට රුපියල් බිලියන 12.426 ක ශුද්ධ ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 4.59% ක වර්ධනයකි.

2019 මුල් කාර්තුවේදී රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 4.27% කින් අධිප‍්‍රමාණය වී තිබීමට සාපේක්ෂව සලකා බලන කාල සීමාව තුළදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල 4.34% කින් අවප‍්‍රමාණය වීම සහ බැංකුවේ විදේශ මුදල් වත්කම් සහ වගකීම් නැවතත් තක්සේරු කිරීම හමුවේ බැංකුව විසින් රුපියල් බිලියන 6.514 ක විනිමය ලාභයක් වාර්තා කර තිබේ. මේ නිසා, 2019 පළමු කාර්තුවේදී බැංකුව විසින් අනිකුත් මෙහෙයුම් ආදායම් වලින් ලැබූ රුපියල් මිලියන 389.309 ක ශුද්ධ අලාභය සලකා බලන කාර්තුව තුළදී රුපියල් බිලියන 6.587 ක ශුද්ධ ආදායමක් බවට පත්කර ගැනීමට බැංකුවට හැකිවී තිබේ.

මේ අතරම, සලකා බලන කාර්තුව තුළදී වෙළඳාම් අංශයෙන් රුපියල් බිලියන 2.348 ක අලාභයක් බැංකුවට සිදුවී ඇති අතර එයට හේතුව වී තිබෙන්නේ බැංකුව විසින් එළැඹී තිබෙන විදේශ විනිමය ගිවිසුම්වල පාඩු හේතුවෙනි. එසේම, සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ සමස්ත අනිකුත් ආදායම් දස ගුණයකින් වර්ධනය වී 2019 පළමු කාර්තුවේ තිබූ රුපියල් මිලියන 460 ක අගය 2020 පළමු කාර්තුව වනවිට රුපියල් බිලියන 4.600 ක් දක්වා වර්ධනය වී ඇත. බැංකු කර්මාන්තයේ අක‍්‍රීය ණය අනුපාතය වර්ධනය වීමේ ප‍්‍රවණතාවය හමුවේ කොමර්ෂල් බැංකුවට ද හානි පූරණය සඳහා වෙන්කළ යුතු ගාස්තු වැඩි කිරීමට සිදුවී ඇති අතර සලකා බලන කාර්තුව තුළදී බැංකුව විසින් රුපියල් බිලියන 6.545 ක මුදලක් හානි පූරණ ගාස්තු වෙනුවෙන් වෙන්කර තිබේ. මීට පෙර කාර්තු තුන තුළදී බැංකුව විසින් හානි පූරණය සහ අනිකුත් අලාභ වෙනුවෙන් පිළිවෙලින් රුපියල් බිලියන 2.738 ක්, රුපියල් බිලියන 2.956 ක් සහ රුපියල් බිලියන 3.515 ක් වෙන්කරන ලදී.

සිය වියදම් පරිපාලනය කර ගැනීමට බැංකුව විසින් අඛණ්ඩවම දැක්වූ කැපවීම හේතුවෙන් සලකා බලන කාර්තුවේ වියදම පසුගිය වසරේ අදාළ කාර්තුවේ වියදම සමග සැසඳීමේදී ඉහළ ගොස් තිබෙන්නේ රුපියල් මිලියන 254 ක් හෙවත් 4.04% කින් රුපියල් බිලියන 6.536 ක් දක්වා පමණි.

සලකා බලන කාර්තුව තුළදී බැංකුව විසින් බදු වලට පෙර රුපියල් බිලියන 6.239 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 4.63% ක පහළ යාමකි. කෙසේවෙතත්, 2020 ජනවාරි මාසයේ සිට ණය ආපසු ගෙවීමේ බද්ද සහ 2019 දෙසැම්බර් මාසයේ සිට ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම නිසා මූල්‍ය සේවා මත බදු 42.83% කින් රුපියල් බිලියන 1.010 ක් දක්වා අඩුවී තිබෙන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සලකා බලන මාස තුන තුළදී බැංකුව විසින් ආදායම් බදු වලට පෙර රුපියල් බිලියන 5.229 ක ලාභයක් වාර්තා කර තිබේ. එය 9.51% ක වර්ධනයකි.

මේ අතර, සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ බදු වලට පසු ලාභය 22.62% කින් රුපියල් බිලියන 3.707 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2019 පළමු කාර්තුව සමග සැසඳීමේදී මෙම කාර්තුවේදී ආදායම මත පැනවූ බදු ප‍්‍රමාණය අඩුවීම මේ ආකාරයෙන් ලාභය වර්ධනය වීමට හේතුවී තිබේ.

සලකා බලන කාර්තුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් තිබුණු බලපෑම මෙම කාර්ය සාධනය තුළින් පිළිඹිබු වන්නේ නෑ. එයට හේතුව වන්නේ මාර්තු මාසයේ මැද භාගය දක්වාම අපගේ බැංකුව සාමාන්‍ය ව්‍යාපාර ප‍්‍රමාණයම සිදුකර තිබීමයි. මේ කාලයේදී ව්‍යාපාරික අංශ ගණනාවක ව්‍යාපාරික කටයුතු අඛණ්ඩවම අයහපත් අතට පත්වන ආකාරය අපි දුටුවා. නමුත් මේ නිසා, මෙතෙක් කාර්තුවකදී හානි පූරණය සඳහා වෙන්කළ වැඩිම මුදල මේ කාර්තුවේදී වෙන් කිරීමට අපට සිදුවී තිබෙනවා. මෙය කොවිඞ්-19 තත්ත්වයට පසු කාලයේදී බැංකුවට යම් බරක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.’

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පෙන්වා දුන්නේ පසුගිය වසරේ අවසාන කාර්තුවේ 37.10%ක් ලෙස තිබූ ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් අනුපාතය 39.81% ක් දක්වා වර්ධනය කර ගැනීමට බැංකුව සමත්වී තිබෙන බවයි. මෙම තත්ත්වය ළඟාකර ගැනීමට සමත්වී තිබෙන්නේ සලකා බලන මාස තුනක කාලය තුළදී ඉතාමත් ශක්තිමත් ලෙස ඉතිරි කිරීම් ලබාගනිද්දී වීම කැපී පෙනෙන කාරණාවකි. එසේම, කොවිඞ්-19 වසංගත තත්ත්වය ණයදීම සඳහා කෙසේ බලපානවාදැයි බැංකුව මේ වනවිට තක්සේරු කරමින් සිටින බවත් පැවති කොවිඞ්-19 ඇඳිරි නීති තත්ත්වය යටතේ නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙමින් ගනුදෙනුකරුවන්ට සේවාවන් ලබාදුන් බැංකුවේ සියළු මට්ටම්වල සේවකයින්ට සිය කෘතඥතාවය පුද කරන බවත් මෙහිදී රෙන්ගනාදන් මහතා පැවසීය. ‘අර්බුදකාරී කාලයේදී ගනුදෙනුකරුවන්ට ඉතාමත් සුරක්ෂිත අයුරින් පහසු සේවාවක් විවිධ වූ ක‍්‍රම මගින් ලබාදීමට බැංකුව සමත් වුණා,’ යනුවෙන් රෙන්ගනාදන් මහතා පැවසීය. ‘වසාදැමීමේ තත්ත්වයෙන් ගනුදෙනුකරුවන්ට වන හානිය අවම කිරීමට අපි හැකි උපරිම අයුරින් කටයුතු කළා. ඒ වගේම, ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් තවත් හොඳින් සේවා සැපයීමට අපි කැප වෙනවා.’

බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 63.919 කින් හෙවත් 4.61% කින් වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් මාසකට රුපියල් බිලියන 21.3 ක වර්ධනයකි. මේ අනුව, 2020 මාර්තු 31 වනදා වනවිට බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.451 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව බැංකුව සඳහන් කරයි. එසේම, පෙර මාස 12 ක කාලය තුළදී බැංකුවේ වත්කම් රුපියල් බිලියන 132.665 කින් හෙවත් 10.06% කින් වර්ධනය වී තිබේ.

මේ අතර, 2019 වසර අවසානයේ සිට සලකා බලන මාස තුනක කාලය තුළදී බැංකුවේ දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 28.744 කින් හෙවත් 3.12% කින් වර්ධනය වී රුපියල් බිලියන 949.201 ක්වී ඇත. පෙර වසර සමග සැසඳීමේදී බැංකුවේ ණය පොතේ වර්ධනය රුපියල් බිලියන 64.562 ක් හෙවත් 7.30% ක්වී ඇත.

සලකා බලන මාස තුනක කාලයේදී බැංකුවේ සමස්ත තැන්පතු 4.87% කින් හෙවත් රුපියල් බිලියන 51.326 කින් වර්ධනය වී 2020 මාර්තු 31 වනදා වනවිට තැන්පතු ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.105 ක්වී තිබේ. එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 17 ක තැන්පතු වර්ධනයකි. මේ අතර, 2019 මාර්තු 31 වනදා සිට බැංකුවේ තැන්පතු වර්ධනය රුපියල් බිලියන 98.557 ක් හෙවත් 9.80% ක්වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 8.2 ක තැන්පතු වර්ධනයකි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.