කොවිඩ්-19 වසංගත තත්වය පැවතිය ද හේලීස් පළමු කාර්තුව සඳහා විශිෂ්ට ප‍්‍රතිඵල වාර්තා කරයි

    August, 24, 2020

    පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ සිය ඔරොත්තු දීමේ හැකියාව විදහා දක්වමින් හේලීස් සමූහය 2019 වසරේ පළමු කාර්තුව සඳහා වාර්තා කළ රුපියල් මිලියන 285.26ක ලාභය හා සසඳන විට 2020 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.17ක පෙර බදු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. මෙම මූල්‍ය සාර්ථකත්වය මඟින් සමූහයේ අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල කාර්යසාධනය සහ ව්‍යාපාර මෙහෙයුම් පිරිවැය කාර්යක්ෂමව ඉදිරියට පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබිඹු කරයි. ලොක්ඩවුන් කිරීමෙන් පසු පනවා තිබූ සීමාවන් ක‍්‍රමයෙන් ලිහිල් වී රට නැවත නැගී සිටීමත් සමඟ සමූහය නව තත්වයවයන්ට හුරු වූ අතර මෙහෙයුම් සාමාන්‍ය තත්වයට පත් වීම දක්නට ලැබුණි. කොවිඞ්-19 වසංගතයෙන් පැන නගින සංකීර්ණතාවන්ට සාර්ථක ලෙස මුහුණ දීමට සමූහය සතු හැකියාව මෙන්ම විශේෂයෙන්ම සමාගමේ මෙහෙයුම් හි නම්‍යශීලිබව හා ඔරොත්තු දීමේ හැකියාව ඊට කදිම සාක්ෂියක් සපයයි. වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ක‍්‍රියාත්මක කළ කඩිනම් හා දැඩි ආරක්ෂිත පියවරයන් මගින් සමූහයේ ව්‍යාපාර මෙහෙයුම් නැවත ඉක්මනින් ආරම්භ කිරීමට ප‍්‍රමාණවත් සහයෝගයක් ලැබුණි.

    කොවිඞ් වසංගතයෙන් සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වූ සංචාරක සහ භාණ්ඩ ප‍්‍රවාහන අංශවල ප‍්‍රධාන වශයෙන් සිදු වූ පසුබෑම් තත්වයන් හේතුවෙන් සමූහයේ ශුද්ධ ආදායම 8%කින් අඩු වී පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 48.23ක් විය. හේලීස් සමූහයේ ‘Haysmart’ වැඩසටහන හරහා ව්‍යාපාර මෙහෙයුම් විධිමත්කරණ පිරිවැය සහ ඉදිරි ක‍්‍රියාවලියන් හි කාර්යක්ෂමතාව පිළිබඳ අවධානය යොමු කිරීම මඟින් පරිපාලන වියදම් 10%කින් අඩු කර ගැනීමට හැකි වූ අතර එම කාලය තුළ EBITDA හි 18%ක සහ EBIT හි 11%ක වර්ධනයට එය සහාය විය. තවද අපනයන අරමුණ කරගත් ව්‍යාපාරවල ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව සිදු වූ අලාභ පියවා ගැනීමට හැකි විය. ඒ අතර පසුගිය වසරේ පළමු කාර්තුවේ බදු පසු ලාභය ලෙස වාර්තා කළ රුපියල් මිලියන 73.45ක අලාභයට සාපේක්ෂව මේ වසරේ එම කාර්තුව සඳහා බදු පසු ලාභය රුපියල් මිලියන 561.76ක් වූ අතර සමූහයේ බදු පෙර ලාභය රුපියල් බිලියන 1.17ක් දක්වා වැඩි වී ඇත.

    ‘‘අභියෝග සාමාන්‍යයෙන් පවතින්නේ කෙටි කාලයක් පමණක් නිසා අපගේ ශක්තිමත් මධ්‍ය හා දිගු කාලීන සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක කරමින් ඉදිරි කාර්තුවලදී ශක්තිමත් ඉපැයීම් ලබා දීමට අපට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා’’ යනුවෙන් හේලීස් සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී, මොහාන් පණ්ඩිතගේ මහතා පැවසුවේය. තේ මිල අඛණ්ඩව ඉහළ යාමෙන් වැවිලි ක්ෂේත‍්‍රයට බලාපොරොත්තු වන ප‍්‍රතිලාභය ලැබෙනු ඇතැයි අප අපේක්ෂා කරන අතරම පවිත‍්‍රකරණ සහ ආරක්ෂිත අත් වැසුම් අංශවලට ද ඉතා විශාල ඇණවුම් ප‍්‍රමාණයක් ලැබී තිබෙනවා. අනෙක් අතට, සංචාරක ක්ෂේත‍්‍රයට කොවිඞ්-19 වසංගතයේ ඉතා අයහපත් ප‍්‍රතිවිපාක සමඟ අඛණ්ඩව අරගල කිරීමට සිදුව ඇති නිසා මෙවැනි අභියෝගාත්මක කාලවලදී සංචාරක ක්ෂේත‍්‍රයට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර සංචාරක ක්ෂේත‍්‍රයේ නියැලෙන අනෙක් සියලූම පාර්ශ්වකරුවන්ට වටිනාකම් නිර්මාණය කිරීම එයින් සහතික කරනු ඇති’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මොහාන් පණ්ඩිතගේ (සභාපති සහ ප‍්‍රධාන විධායක), ධම්මික පෙරේරා (සම-සභාපති), සරත් ගනේගොඩ, රජිත කාරියවසම්, ආචාර්ය හර්ෂ කබ්රාල්, රුවන් වෛද්‍යරත්න, හිෂාම් ජමාල්ඞීන්, අරවින්ද පෙරේරා, ජයන්ති ධර්මසේන, රොහාන් කාර් සහ ගාමිණි ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් හේලීස් අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත වෙයි.