කොවිඩ්-19 ව්‍යසනය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1,360 ක ප්‍රදානයක්

    July, 8, 2020

    ශ්‍රී ලාංකික ප්‍රජාව අතර කොවිඩ් - 19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් අනුගමනය කළ කඩිනම් හා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් රටතුළ මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට හැකිවී තිබුන ද, කොවිඩ් - 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ සඳහා නවීන වෛද්‍ය උපකරණ හා ගුණාත්මක මානව සම්පත් වලින් සමන්විත අතිරේක වෛද්‍ය ප්‍රතිකාර ඒ්කක දිවයිනේ ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කිරීමට රජය විසින් පියවර ගෙන ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ව්‍යසනය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා MRI Scanner, CT Scanner, Bed Side X-Ray Systems, Central Monitors, Bedside Monitors and Defibrillators යනාදී නවීන වෛද්‍ය උපකරණ සම්පාදනය වෙනුවෙන් ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 800 ක (දළ වශයෙන් රුපියල් මිලියන 1,360) ආධාර ලබාදීමට ජපාන රජය එකඟතාවය පලකර ඇත.

    මෙම ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර 2020 පුලි 08 දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒස්.ආර්. ආටිගල මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තනාපති සුගියමා අකිරා මහතා විසින් අත්සන් තබන ලදී.