කොළඹ ඉඩම් මිල සියයට 18කින් ඉහළට

    March, 7, 2019

    2018 වසරේ දෙවන භාගය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරන ලද ඉඩම් මිල දර්ශකය 125.9 ක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයකි. නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් මිල දර්ශකයේ අනු දර්ශක තුනෙහිම ඉහළ යාම මෙම වර්ධනය සඳහා හේතු විය.

    නිශ්චල දේපළ අංශයේ වර්ධනයන් අධීක්ෂණය කිරීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පර්චසයක් සඳහා වන මිල ගණන් උපයෝගී කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලැබේ. මෙහිදී ඉඩම් භාවිතය සම්බන්ධයෙන් වන විවිධත්වය සැලකිල්ලට ගෙන සමජාතීත්වය පවත්වා ගැනීම සඳහා නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලබන අතර, එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය ගණනය කරනු ලැබේ.