කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

    October, 9, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 70.69කින් ඉහළ යන ලදී. මෙය පෙර (08) දිනයට සාපේක්ෂව 1.23%ක වර්ධනයකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,809.59 ක් ලෙසින් වාර්තා විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 951.26 ක් ලෙසින් සටහන් වූ අතර එය 2019 වර්ෂයේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 653 ඉක්මවා යාමකි.

    අද දින පිරිවැටුමෙන් රුපියල් මිලියන 897.9ක් දේශීය මිල දී ගැනීම් ලෙසත් රු. මිලියන 53.36ක් විදේශීය මිල දී ගැනීම් ලෙසත් වාර්තා විය. මෙහිදී දේශීය විකිණුම් රු. මිලියන 685.84ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 265.41ක් වශයෙන් සටහන්ව තිබුණි.

    2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමත් සමඟම ජනාධිපති සටන මේ වන විට නිල වශයෙන් ආරම්භ වී තිබේ. පවතින දේශපාලන වාතාවරණය තුළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව ඉහළ ගිය සිව්වන දින අදයි.

    ඒ අනුව 2019 ඔක්තෝබර් 03 දින අවසානයේ දී ඒකක 5,677.50 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය මේ වන විට ගනුදෙනු දින 4 ක් තුළ දී ඒකක 5,809.59 ක් දක්වා ඒකක 132.09 කින් වර්ධනය වී තිබේ. මෙහිදී ඔක්තෝබර් 04 - ඒකක 12.4ක්, ඔක්තෝබර් 07 - ඒකක 19.02ක්, ඔක්තෝබර් 08 - ඒකක 29.98ක් සහ අද ඔක්තෝබර් 09 - ඒකක 70.69 ක් වශයෙන් දිනපතා කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ ගොස් ඇත.

    මෙම දත්තවලට අනුව අද (09) දිනය ද ඇතුළුව ගෙවී ගිය ගනුදෙනු දින 4 තුළ දී කොටස් වෙළෙඳපොළේ වර්ධනය 2.32%කි.