කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී ඉහළට

    August, 6, 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 10.9 දක්වා ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ජුනි මාසයේ පැවති සියයට 1.4හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස ද, 2020 ජුනි මාසයේ පැවති සියයට 4.7හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.