කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණ කෙරේ

    March, 21, 2019

    ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project)කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණ කෙරේ.

    ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ.

    මේ යටතේ කොළඹ මහජන පුස්තකාලය මගින් පාඨකයින්ට ලබා දෙන සේවාවන් රැසක් ඩිජිටල් ඩිජිටල්කරණය කර තිබේ.

    මේ අනුව සෑම සාමාජිකයෙකුටම පරිගණක ගත පුස්තකාල සාමාජික අංකයක් හිමිවේ. තවද මෙම ඩිජිටල්කරණය නිසා පොත්පත් තෝරා ගැනීමට වැය වන කාලය ඉතා අවම වී තිබේ. එසේම අන්තර්ජාලය ඔස්සේ පුවත්පත් කියවීමේ පහසුකම මෙන්ම ලොව ප්‍රකට සගරා ශ්‍රාස්ත්‍රීය ලිපි වාර ප්‍රකාශන ටැබ් යන්ත්‍ර ඔස්සේ පරිශ්‍රීලනය කිරීමේ පහසුකම පාඨකයින්ට හිමිවී ති‍බේ.

    තවද දුර්ලභ තොරතුරු අඩංගු මුද්‍රිත ලිපි ලේඛන පත පොත ආදියෙහි මෘදු පිටපත්ද පරිශ්‍රීලය කිරීමටද මෙහිදී හැකිවේ.

    විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් ටැබ් යන්ත්‍ර ඔස්සේ හැදෑරීමේ අවස්ථාද මෙහිදී දරුවන්ට උදාවී තිබේ.

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කෙරුණු අතර මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කළේ මේ වන විට දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයන් පවා වෙනස් වෙමින් පවතින බවත් ලෝකයේ ඇතැම් පොත් පත්තර මුද්‍රණය කිරීම නවතා දමා ඒ වෙනුවට ඩිජිටල්කරණය වු පොත් පත්තර පාඨකයින් අතට පත් වෙමින් තිබෙන බවත්ය.

    මෙහිදී අදහස් දැක්වු කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය සදහන් කළේ කොළඹ මහ නගර සභාව මගින් මහජනතාවට ලබා දෙන සේවාවන් රැසක් මේ වන විටත් ඩිජිටල්කරණය කර තිබෙන බවත් එමගින් වඩාත් කාර්යක්ෂම සහ පලදායී සේවාවක් ලබා ගැනීමට ඔවුන්ට හැකිවී තිබෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒ වෙනුවෙන් මහගු මෙහෙයක් කරමින් සිටින බවත්ය. ‍

    ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම තව දුරටත් සවිමත් කිරීමේ තවත් එක් අදියරක් වශයෙන් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන බවත් සමාජයේ තාක්ෂණික රුචිකත්වයන්ට හා අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් පුස්තකාල පරිසරයද වෙනස්වීම කාලීන වශයෙන් වැදගත් වන බවත් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කිරීමට නියමිත බවත් නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා පවසයි.

    කුරුණැගල පොළොන්නරුව බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල ඉදිරි මාස කිහිපය තුලදී මෙම ඩිජිටල් පුස්තකාල ස්ථාපිත කිරීමට නියමිතව ති‍බේ.

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රො‍හාන් සමරජීව ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා ප්‍රසම්පාදන අධ්‍යක්ෂ ගාමිණී කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.