කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව රාජකාරි පැය මිලියන 12 ක් සම්පූර්ණ කරයි

January, 14, 2020

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව රාජකාරි පැය මිලියන 12 ක් සම්පූර්ණ කිරීමට සමත් වී තිබේ. 2020 ජනවාරි 13 වනදා පැවති උත්සවයකදී එළිදක්වන ලද, කොළඹ වරාය නගරයේ 2018-2019 ප‍්‍රජා සත්කාර වාර්තාව මගින් මේ බව අනාවරණය වී ඇත.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සහ එහි ප‍්‍රධාන සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් කම්පනි (China Communications Construction Company – CCCC)  මගින් නිකුත් කරන ලද ප‍්‍රථම ප‍්‍රජා සත්කාර වාර්තාව මෙයයි. 2014 සැප්තැම්බර් මාසයේ සිට 2019 නොවැම්බර් මාසය දක්වා සමාගම විසින් ජනතාව, සේවකයන්, පාරිභෝගිකයන් සහ පරිසරය වෙනුවෙන් සිදුකරන ලද මෙහෙවර මෙම වාර්තාවේ දැක්වේ. මෙය එළිදැක්වීමේ අවස්ථාව සඳහා ප‍්‍රධාන ආරාධිතයන් ලෙස ශ‍්‍රී ලංකාවේ චීන තානාපති Cheng Xueyuan සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ යන මහත්වරුන් සහභාගී වූ අතර නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම, CCCC හි ප‍්‍රචාරණ කටයුතු ප‍්‍රධානී Liu Yan මහත්මිය, චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි (China Harbour Engineering Company) හි උප සභාපති Huang Yongye මහත්මිය සහ චෙක් පොර්ට් සිටි කලම්බු (CHEC Port City Colombo) (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතාද ආරාධිතයන් ලෙස එක්වූහ.

ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතනයේ (International Organization for Standardizing - ISO) මාර්ගෝපදේශ, ප‍්‍රජා සත්කාර සම්බන්ධ GB/T 36000-2015 මාර්ගෝපදේශ, General Administration of Quality Supervision මගින් හඳුන්වා දෙන ලද ප‍්‍රජා සත්කාර වාර්තාකරණය සම්බන්ධ GB/T 36001-2015 මාර්ගෝපදේශ සහ Global Sustainability Standards Board (GSSB)  මගින් හඳුන්වා දෙන ලද GRI Sustainability Reporting Standards (GRI Standards)යන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම වාර්තාව පිළියෙල කර තිබේ.

මේ සම්බන්ධයෙන් CCCC සමාගමේ සභාපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩයක මෙසේ දැක්වේ. “කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු, එක්ව ගනුදෙනු කිරීම, එක්ව ඉදිකිරීම සහ එක්ව බෙදාහදා ගැනීම යන මූලධර්ම මත පදනම් වූ, ‘එකම තීරයක් එකම මාවතක්‘ ඉදිකිරීම් වැඩරාමුව යටතේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් ආර්ථික හා වාණිජ සහයෝගීතාව යටතේ ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛතම ව්‍යාපෘතියකි. ශ‍්‍රී ලංකාවේ ජනතාව සමග එක්වී, පොදු සංවර්ධනය වෙනුවෙන් උනන්දු වන, උද්යෝගී, දෛවයෙන් පන්නරය ලබන සහ වගකීම් සහගත ප‍්‍රජාවක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි.“

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ CCCC සමාගම තිරසාර සංවර්ධන සංකල්ප ක‍්‍රියාත්මක කරමින්, ප‍්‍රජා සත්කාර මෙහෙවර වඩාත් හොඳින් ඉෂ්ට කරමින්, සහයෝගය සහ සංවර්ධනය තවත් පුළුල් කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර සමාගම් සමග එක්ව කටයුතු කරන බවයි. එමෙන්ම හරිත සංවර්ධනය සම්බන්ධ නවෝත්පාදනයන් සහ අන්‍යෝන්‍ය විශ්වාසය පදනම් කරගත් ප‍්‍රජාවන් විසින් ශ‍්‍රී ලංකාවට දීර්ඝකාලීන ස්ථාවර සංවර්ධනයක් සඳහා දොරටු විවර කරනු ඇති බව ඒ මහතාගේ අදහස වේ.

කොළඹ වරාය නගරය දකුණු ආසියානු කලාපයේ බිහිවන ජාත්‍යන්තර තලයේ නගරයක් බවටත්, ඉහළම තලයේ ආර්ථික මධ්‍යස්ථානයක් බවටත් පත්කිරීමේ අරමුණ මුල්කරගෙන, විශිෂ්ට යටිතල පහසුකම් නිර්මාණය කිරීම, ඉඩම්වල අගය ඉහළ නැංවීම, නාගරික සංවර්ධනය පුළුල් කිරීම සහ ස්ථාවර රැකියා අවස්ථා උදාකර දීම වැනි ක‍්‍රම ඔස්සේ ශ‍්‍රී ලංකාවට ආර්ථික හා සමාජ ප‍්‍රතිලාභ  පිරිනැමීම CCCC සමාගමේ ඉලක්කය වී තිබේ. සිය ප‍්‍රථම ප‍්‍රජා සත්කාර වාර්තාව තුළින් පැහැදිලිව දක්වා ඇති ආකාරයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සංකල්ප ක‍්‍රියාවට නැංවීම, ක‍්‍රමවේද ස්ථාපිත කිරීම සහ ප‍්‍රායෝගික මගපෙන්වීමක් ලබාදීම වැනි ක‍්‍රම ඔස්සේ තම එදිනෙදා රාජකාරී කටයුතු සඳහා ප‍්‍රජා සත්කාර සංකල්ප භාවිතා කිරීමට සිය කාර්ය මණ්ඩලය යොමුකරවීමට පියවර ගෙන ඇත.

 

වාර්තාවේ සඳහන් ප‍්‍රධාන කරුණු

වටිනාකම් පෙරදැරි කරගත් ව්‍යාපෘතියක්: ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල සිට කාර්යාලීය ලිපිද්‍රව්‍ය ආදිය දක්වාම දේශීය ශ‍්‍රී ලාංකීය නිපැයුම් හා සැපයුම් වලට මුල්තැන දෙමින් දේශීය සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට සමාගම කටයුතු කළේ ය. මෙම සැපයුම් කරුවන්ට තවත් ප‍්‍රතිලාභයක් අත්කර දෙමින් සමාගම සැපයුම්කරුවන් 1,500 කට විධිමත් පුහුණුවක් ලබාදෙමින් වටිනා සහතිකයක් පිරිනැමීමටද කටයුතු කර ඇත. මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය සැලසුම් ශිල්පීන්ගේ සේවය ලබාගන්නා ලද අතර සෘජුවම ශ‍්‍රී ලාංකිකයන් 8,000 කට අධික පිරිසකට අත්වැලක් වන ආකාරයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සමාගම හැකියාව ලැබිණි.

සමෝධානිකත්වයේ ව්‍යාපෘතියක්: ඉංජිනේරුවන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වාම දැනුමෙන් හා අත්දැකීම් අතින් ඉහළම මට්ටමේ සිටින වෘත්තිකයන් සේවයේ යෙදවීමට සමාගම කටයුතු කර ඇත. කාර්ය මණ්ඩලය වෙනුවෙන් වාර්ෂික පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර මෙම වැඩසටහන්වලට රැකියා ස්ථානයේදීම පුහුණුව ලබාදීම, දේශකවරුන් සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම සහ දැනුම පදනම් කරගත් තරග පැවැත්වීම වැනි අංග ඇතුළත් වී තිබේ. 2019 වසරේ ඔක්තෝබර් මාසය අවසාන වන විට 620 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහන් 16 ක් සංවිධානය කර තිබිණි. පුහුණු වැඩසටහන් සඳහා රු. මිලියන 37 (ඇමරිකානු ඩොලර් 203,000) ක මුදලක් වෙන්කරන ලද අතර එම මුදලින් 90% ක් දැනටමත් එම කටයුතු සඳහා යොදවා තිබේ.

ජීවනෝපාය සංවර්ධනයේ ව්‍යාපෘතියක්: ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ගේ ජීවනෝපායන් නගාසිටුවීම සඳහා ප‍්‍රජා සංවර්ධන කටයුතු පුළුල් කිරීමටත්, දේශීය ජනතාවට ප‍්‍රායෝගික ප්‍රතිලාභ ලබාදීමටත් වරාය නගර ව්‍යාපෘතිය උත්සාහ කරයි. මෙම දැක්ම අනුව, මීගමුව ප‍්‍රදේශයේ ධීවරයන් මුහුණදෙන ගැටලූ හඳුනා ගනිමින් ශ‍්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව ධීවර ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක‍්‍රියාවට නැංවීමටත් ඒ සඳහා රු. මිලියන 550 ක මුදලක් වෙන්කිරීමටත් පියවර ගන්නා ලදී. මීගමුව ප‍්‍රදේශයේ ධීවරයන් 15,450 කට ආසන්න පිරිසකට රක්ෂණ පිරිනමන ලද අතර ඔවුන් අතරින් 6,000 කට අධික පිරිසක් ආවරණය කරමින් සෞඛ්‍ය කඳවුරු 35 ක් සංවිධානය කෙරිණි. මීගමුව සිට වත්තල දක්වා ධීවර සංවිධාන 77 කට මූල්‍යමය අත්වැලක් වශයෙන් රු. මිලියන 154 ක මුදලක් ප‍්‍රදානය කරන ලදී. එමෙන්ම මුහුදු ඛාදනය සම්බන්ධ ගැටලූ අවම කිරීම සඳහා දියකඩන ඉදිකිරීමටත් වෙරළ ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණය කිරීමටත් රු. මිලියන 300 ක මුදලක් වෙන්කිරීමට සමාගම පියවර ගත්තේ ය.

පාසල් උපකරණ බෙදාදීමත්, වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඉගැන්වුම් සහ ඉගෙනුම් පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කරගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ‘Hope’ ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන ලදි. ඉන් අනතුරුව Angels Play School හි පහසුකම් වැඩිදියුණු කිරීම, ලෝක විශ්ව විද්‍යාල විවාද තරගාවලිය සංවිධානය කිරීම, කොළඹ වරාය නගරයේ ජනමාධ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වීමට දරුවන් තෝරාගැනීම සහ රටේ තරුණ පරපුරේ යහපත උදෙසා NSBM Green University Town සමග අත්වැල් බැඳගැනීම වැනි ව්‍යාපෘතිද ක‍්‍රියාවට නංවා තිබේ. තවද රටේ ස්වාභාවික උපද්‍රව වලදී විපතට පත්වන්නන්ට සහය වීම සඳහා දායක වීම මෙන්ම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට චීන සංස්කෘතික පොත්පත් ප‍්‍රදානය කිරීම වැනි මහජන සුභසාධන වැඩසටහන් වලට දායක වීමටද කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පියවර ගෙන ඇත.

උසස් තත්ත්වයට මුල්තැන දෙන ව්‍යාපෘතියක්: ඉදිකිරීම් කටයුතු වලදී සිදුවන අනතුරු හා හානි අවම කිරීම සඳහා සියලූම ක‍්‍රියාකාරකම්වලදී ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කටයුතු කළේ ය. ඒ සඳහා 4,224 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ආරක්ෂාව පිළිබඳ පුහුණු සැසි 192 ක් පවත්වන ලද අතර කිසිදු අනතුරකින් තොරව මේ වනවිට රාජකාරි පැය මිලියන 12 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ කිරීමට එම ව්‍යාපෘතිය සමත් වී තිබේ.

පරිසර හිතාකාමී ව්‍යාපෘතියක්: තිරසාර සංවර්ධන සංකල්පය අනුව ව්‍යාපෘතිය පුරාම රටේ විවිධත්වයට ගරුකරමින් පරිසරය වැඩිදියුණු කරමින් පරිසර දූෂණය අවම කරමින් සම්පත් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නිසා සමාගම වෙත සම්මාන රැසක් හිමි විය. International Federation of Landscape Architects (IFLA) හි අප‍්‍රිකා ආසියා පැසිෆික් සහ මැද පෙරදිග සම්මාන උළෙලේදී ගෞරව සඳහනක් හිමිවීම, 2018 Yuan Ye Urban Design Awards හිදී රන් සම්මානයක් හිමිවීම සහ Singapore Institute of Landscape Architects මගින් සංවිධානය කරන ලද 2017 Singapore Landscape Architecture Awards හිදී රිදී සම්මානයක් හිමිවීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනී.