September, 16, 2024
පසුගිය සැප්තැම්බර් 12 වැනි දින කැඳවන ලද භාණ්ඩාර බිල්පත් වෙන්දේසියේ දී 2034 වසරේ දී කල්පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලංසු භාර නොගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
එම වෙන්දේසිය සඳහා 2028, 2029 හා 2034 වන වර්ෂවල දී කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රු. බිලියන 100 ක්, 150 ක් හා 40ක් ලෙසින් භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත් එම වෙන්දේසියේ දී 2034 කල්පිරෙන කාණ්ඩය සඳහා ඉදිරිපත් කෙරුණු බැඳුම්කර වෙනුවෙන් ලංසු භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර 2029 කල්පිරෙන කාණ්ඩයෙන් රු. බිලියන 145.96 ක ලංසු අනුමත කර තිබුණි. 2028 කණ්ඩය සඳහා ඉදිරිපත් කර තිබුණු රු. බිලියන 100ක සමස්ත බැඳුම්කර ප්‍රමාණයම ආවරණය වන පරිදි ලංසු පිළිගෙන තිබුණි.
මෙහිදී මුදල් අමාත්‍යාංශය පවසන්නේ, රජයේ සුරැකුම්පත් සඳහා වූ මෑත කාලීන වෙන්දේසි සියල්ලේ දීම පොලී අනුපාතික මත ක්‍රමානුකූලව ඉහළ යන පීඩනයක් ඇතිවන බව නිරීක්ෂණය වී ඇති බවයි. උදාහරණයක් ලෙස, 2024.08.01 දින, මාස 6ක් දක්වා වන භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය වසරකට 9.34% ක් වූ අතර, 2024.09.11 දින මාස 6ක් දක්වා වන භාණ්ඩාගාර බිල්පත් හි ඵලදා අනුපාතිකය වසරකට 10.24%ක් දක්වා ඉහළ ගොස් තිබුණු බව සඳහන් කරන මුදල් අමාත්‍යාංශය, ඒ හා සමානව 2024.09.12 දින පවත්වන ලද වෙන්දේසිය සාපේක්ෂ වශයෙන් විශාල පරිමාවක් සහිත ඉහළ ලංසු තැබීමක්, සියලු කල්පිරීම් හරහා පිළිබිඹු වුණු බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
රජය විසින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය මූල්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතත්, 2024.09.12 වැනි දින පැවති වෙන්දේසිය ඇතුළුව මෑත කාලීන වෙන්දේසිවල ලංසු තැබීමේ රටාව, ඉදිරි මැතිවරණවලට අදාළ අවිනිශ්චිතතාවයන් හා සම්බන්ධ අවදානම් මත වෙළෙඳපොළ මිලකරණය යනාදී සාධක මගින් මෙහෙයවනු ලබන බව පෙනෙන බව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මෙහිදී අවධාරණය කරයි.
ඵලදා අනුපාතවල වැඩිවීම කෙටි කාලීන අවිනිශ්චිතතාවය වැනි තාවකාලික සාධක මගින් මෙහෙයවනු ලැබීමට ඉඩ ඇති හෙයින්, පිරිනමනු ලැබූ සමස්ත මුදල පිළිගැනීමෙන් භාණ්ඩාගාරයට දිගු කාලයක් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවනු ඇති හෙයින් 2034 වසරේ කල්පිරීම් කාණ්ඩයට අදාළව ලැබුණු ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත්, කෙටිකාලීන කල්පිරීම් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතය (WAYR) සාධාරණ මට්ටමකින් පවත්වා ගැනීමට තීරණය කළ බවත් මුදල් අමාත්‍යාංශය මෙහිදී කියා සිටී.
ඒ අනුව 2028 කල්පිරීමේ කාණ්ඩය සඳහා වන භාණ්ඩාගාර බැඳුම්කර වසරකට 13.79 (WAYR) ට නිකුත් කර ඇති අතර 2029 කල්පිරීමේ කාණ්ඩය සඳහා වන භාණ්ඩාගාර බැඳුම්කර වසරකට 13.98% (WAYR) ට නිකුත් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රු. බිලියන 58.5 ක පමණ මූල්‍ය හිඟයක් ඇති වන බවත්, මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහය මගින් එය මූල්‍යකරණය කරන ලබන බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වැඩිදුරටත් මෙහිදී සඳහන් කරයි.
“එබැවින්, පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබූ ඇතැම් වැරදි තොරතුරු මත පදනම් වූ ප්‍රකාශයන් නොසලකා, රජයේ සුරැකුම්පත් වෙන්දේසි ක්රමයේ හොඳින් සථාපිත ක්‍රියාපටිපාටියට අනුකූලව මෙම වෙන්දේසිය සාර්ථකව අවසන් කරන ලදී. රජය විසින් අනුගමනය කරන ලද ණය කළමනාකරණ උපාය මාර්ග මගින් කල්පිරෙන විශාල ණය ප්‍රමාණය සම්පූර්ණයෙන් ගෙවා දැමීම සහතික කළ අතර, රජය මුහුණ දෙන පොලී පිරිවැය සාධාරණ මට්ටමක පවත්වාගෙන යාම ද සහතික විය“, යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
Video Story