ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ට කර්තෘභාග ගෙවීම සඳහා නව නියෝග

    March, 21, 2019

    2018 අංක 7 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත මඟින් සංශෝධිත 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මඟින් සලසා ඇති විධිවිධාන අනුව ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ගේ ප්‍රකාශන හිමිකම හා සම්බන්ධිත අයිතිවාසිකම් වෙනුවෙන් එම හිමිකරුවන් වෙත හෝ ඔවුන් සාමාජිකත්වය දරන සාමුහික සංගම් වෙත ඔවුන්ට ගෙවිය යුතු කර්තෘභාගය නියමිත පරිදි ගෙවිය යුතු වේ.

    එසේ වුවද තවමත් ගීත හෝ සංගීතමය කෘති වාණිජමය අරමුණු සඳහා භාවිත කරන්නන් විසින් එම කෘතිවල හිමිකරුවන් වෙත නියමිත පරිදි කර්තෘභාග ගෙවීම් නොකරන බවට හඳුනාගෙන තිබේ.

    එබැවින් කර්තෘභාග ලෙස අවම ගාස්තු සඳහන් නියෝග ඇතුළත් 2011 01 05 දිනැති 1687/28 දරන ගැසට් පත්‍රයේ පළ වූ 2011 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග අවලංගු කර කර්තෘභාගය ලබාගැනීමේ යන්ත්‍රණය විධිමත් කරගැනීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග නිකුත් කිරීම වඩාත් ඵලදායී බව පෙනී ගොස් ‍තිබේ.

    ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නියෝග ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවැයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.