ගුවන්තොටුපළේ ගැවසෙන අනවසර තැරැව්කරුවන්ට එරෙහි නීති දැඩි වෙයි

    December, 7, 2017

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොදු පරිශ්‍රය තුළ අනවසරයෙන් ගැවසෙන විවිධ 'තැරුව්කරුවන්' (touts) හේතුවෙන් ගුවන් මගීන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම තත්ත්වය පාලනය කිරීම සඳහා නීති පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, ගුවන් තොටුපළ තුළ තැරැව් කිරීම හා අනවසර පුද්ගලයින් විසින් ගුවන්තොටුපළ තුළ දී වාහනවලට බඩු පැටවීම 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනත යටතේ වැරදි ලෙස හඳුනා ගැනීමට, එවැනි වැරදි සිදු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා නීතිපතිවරයාගේ අවසරයකින් තොරව ගුවන්තොටුපළ පිහිටා ඇති අධිකරණ බල සීමාව තුළ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සඳහා විධිවිධාන සලසමින් 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.