චක‍්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කිරීම

January, 18, 2021

ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි

‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක‍්‍රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර, එය පරිසරය සුරැකීමේ මහඟු ප‍්‍රයත්නහිදී උපකාරී වේ.

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය හා වෙන් කිරීම ගත් කළ එහි ඇති අකාර්යක්ෂමතාව හා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් එය අපකීර්තිමත් මාතෘකාවක් බවට මේ වන විට ක‍්‍රමයෙන් පත් වෙමින් ඇත. බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 3500ක් පමණි (මධ්‍යම පරිසර අධිකාරිය 2018).

අපද්‍රව්‍ය බැහැර කිරීම හා කළමනාකරණය කිරීමේ දුර්වල ක‍්‍රමෝපායන් නිරන්තරයෙන් බොහෝ ගැටළු ඇති කරයි. මෙම නිසා ප්ලාස්ටික් බෝතල් වැනි අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් ජලමාර්ග අවහිර වීම හා කසල රැඳවුම් අංගන පිරීයාම බහුලව දැකිය හැකි ප‍්‍රධාන ගැටළු වේ. මෙම අපද්‍රව්‍ය හරියාකාරව බැහැර කොට වෙන් කළහොත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අතර එය ආර්ථිකයට ද වඩාත් ඵලදායි ලෙස යොදා ගත හැකිය.

මේ වන විට අප සියලූ දෙනා දන්නා පරිදි රජය විසින් එක් වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් තහනම 2021 වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙය තිරසාර ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකි නමුත් ප‍්‍රජාවට හා සමස්ත ආර්ථිකයට ද ඉතා වැදගත් දායකත්වයක් සපයන, ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි PET ප්ලාස්ටික් වැනි ප්ලාස්ටික් වර්ග, එක් වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික්වලට අත් වී ඇති ඉරණම වැන්නක් සිදු වීමට ඉඩ නොතබා, ඊට නව්‍ය විසඳුමක් ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

ඇසුරුම්කරණයේදී PET ප්ලාස්ටික් භාවිතා කීරීමට හැකියාව ලැබීම නිසා මෙරට ප‍්‍රජාවන්ට නිෂ්පාදන වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හා දැරිය හැකි මිලකට සැපයීමට අවස්ථාව සැලසී තිබේ. සාමාන්‍යයෙන් එවැනි ඇසුරුම් නිෂ්පාදනය ඉතා ලාභදායී වන අතර ඒවා අවම හානියක් වන ලෙස ප‍්‍රවාහනය හා ගබඩා කර තැබීම ද පහසුය. එමෙන්ම අනෙකුත් බොහෝ ද්‍රව්‍යවලට වඩා මෙම ප්ලාස්ටික් නිෂ්පාදනයේදී පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය සැලකිය යුතු තරම් අවම මට්ටමක පවතී. මෙම PET ප්ලාස්ටික් ලාභදායී හා ආරක්ෂාකාරී විකල්පයක් වීම හේතුවෙන් මෙරට බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශලවල ජනතාවට විවිධ නිෂ්පාදන භුක්ති විඳීමට හැකියාව ලැබී ඇති අතර, ඇතැම් නිෂ්පාදන රටේ සම්පත් බහුල ප‍්‍රදේශවලට පමණක් සීමා වීම වැළැක්වීමට ද හැකියාව ලැබී ඇත. කිරි සැෂේ පැකට් හෝ කුඩා ප‍්‍රමාණයේ කිරි නිෂ්පාදන ඇසුරුම් ඊට කදිම උදාහරණයක් වේ. ආදායම් හා වියදම් සමීක්ෂණයේ (2016) දත්තවලට අනුව මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත්වන්නන් කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා සාමාන්‍යයෙන් 7.8%ක් වියදම් කරන බව වාර්තා කර ඇත. මින් අදහස් වන්නේ ඇතැම් ග‍්‍රාමීය ආර්ථික-සමාජීය කණ්ඩායම්වලට එම නිෂ්පාදන තවදුරටත් අපහසුවකින් තොරව මිලදී ගැනීමට හැකි බවයි. මෙම නිෂ්පාදන සඳහා ඔවුන්ගෙන් අඛණ්ඩ ඉල්ලූමක් ඇති බැවින් එම අපද්‍රව්‍යවලට දිගුකාලීන උපායමාර්ගික විසඳුමක් අවැසි වන්නේ ඒ නිසාය.

අපගේ වත්මන් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ පවතින ප‍්‍රධාන ගැටළුව

අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මූලිකවම නිවසේ සිට එනම් බිම් මට්ටමේ සිට ක‍්‍රියාත්මක වන ආකාරයේ ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය වේ. එහිදී නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසි පරිදි ඉඳුල්, කඩදාසි හා ප්ලාස්ටික් ආදි වශයෙන්, ඒවා එකතු කිරීමට පැමිණෙන්නන්ට රැගෙන යා හැකි පරිදි ඒවා වෙන් කර තැබීම සඳහා දැනුවත් කිරීම් සිදු කළ යුතුය.

නමුත් සමහර අවස්ථාවලදී නිවෙස්වල එකතු කිරීම සඳහා අපද්‍රව්‍ය වෙන් කළද ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි දේවල් අනෙක් අපද්‍රව්‍ය සමඟ එකතු වී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ නොහැකි තත්වයට පත් විය හැකිය. මෙහිදී සිදු වන්නේ වෙන් වෙන් වශයෙන් එකතු කළ අපද්‍රව්‍ය ද අනෙක් කසළ සමඟම එකම කසළ ගොඩකට එකතු වීමෙන් සමස්ත අපද්‍රව්‍ය වෙන්කිරීමේ ක‍්‍රියාවලියම අසාර්ථක වීමයි.

ශ්‍රී ලංකාව තුළ පවතින ප‍්‍රතිචක‍්‍රීයකරණය සම්බන්ධ නිවැරදි මගපෙන්වීම සහ ඊට අදාල ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක නොවීම, පුද්ගලික අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා වෙන්කරන්නන් බිහි වීමට හේතු වී ඇත. අද වන විට ශ්‍රී ලංකාවේ 300කට වැඩි ලියාපදිංචි හා ලියාපදිංචි නොකළ ප්ලාස්ටික් එකතුකරන්නන් හා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් ජාලයක් සිටී (මධ්‍යම පරිසර අධිකාරිය, 2019). මෙම කුඩා ව්‍යවසායකයින්ට නිවැරදි හා කාර්යක්ෂම අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් හා සහාය නොමැති බැවින් මෙම අංශය තවදුරටත් ශක්තිමත් කළ යුතුය. රජය විසින් සියලූම PET ප්ලාස්ටික්වලට බලාත්මක වන පරිදි තහනමක් පනවනු ලැබුව හොත්, කුඩා හා මධ්‍ය පරිමාණයේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නන් සහ ක්ෂේත‍්‍රයේ විශාල සංඛ්‍යාවකගේ රැකියා බොහොමයක් අහිමි වීමේ අවදානමක් ද ඇති බව මෙහිදී සිහි තබා ගැනීම ඉතා වැදගත්ය.

මේ සඳහා සිදු කළ යුත්තේ කුමක්ද?

ප‍්‍රධාන වශයෙන් රජය විසින් මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රියාවලීන් පිළිබඳව නිසි තක්සේරුවක් හා සොයා බැලීමක් සිදු කළ යුතුය. පළාත් පාලන ආයතන හා නගරසභාවලින් අපද්‍රව්‍ය එක්රැස් කිරීම හා වෙන් කිරීම සඳහා යම් ප‍්‍රතිපාදනයක් වෙන් කළ යුතු අතර, බාධාවකින් තොර අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා රජය විසින් නව්‍ය උපාය මාර්ගයක් ප‍්‍රවර්ධනය කළ යුතුය. ප‍්‍රතිචක‍්‍රීයකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා මෙය උපකාරී විය හැකිය.

ජපානයේ අපද්‍රව්‍ය වෙන් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය ආදී ක‍්‍රියාවලීන් පාලනය කිරීමේදී ඔවුන් ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රමවේදයක් පවත්වා ගෙන යෑම මේ සඳහා කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. ජපානය විසින් අනුගමනය කරනු ලබන මෙම ක‍්‍රියාවලිය ඔවුන් වගකීමකින් යුතුව සිදු කරන අතර බලධාරීන්, පාරිභෝගිකයින් ඇතුළුව පාර්ශවකරුවන් රාශියකට එය උපායමාර්ගිකව පවරා දී ඇත. ඒ තුළින් ඔවුන්ගේ නිවෙස්වල සිටම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි හා නොහැකි අපද්‍රව්‍ය වෙන් කිරීම, එකතු කිරීම, ඉවත දැමීම, පුළුස්සා දැමීම හෝ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා සම්මත ක‍්‍රමවේදයක් පවත්වා ගැනීමට ඔවුන්ව පොළඹවයි (ජපන් රජයේ කළමනාකරණ හා ප‍්‍රතිචක‍්‍රීයකරණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිපත්ති සැලසුම්කරණ අංශය, 2012).

රජය හැරුණු විට ප්ලාස්ටික් නිෂ්පාදකයින් ද පුළුල් වූ නිෂ්පාදක වගකීමේ (EPR) ප‍්‍රතිපත්තිය මත පිහිටා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීම හා වෙන් කිරීම දිරිමත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි. එහිදී ආරම්භයක් ලෙස PET ප්ලාස්ටික් බෝතල් සහ විශාල සන්නාම සහිත පාන වර්ග නිෂ්පාදකයින්ට ඔවුන්ගේ බෝතල් හා බෝතල් පියන් එකම ප‍්‍රමිතියකයට සහ බෝතල් විනිවිදි පෙනෙන අයුරින් නිපදවිය හැකිය. එමගින් පරිහරණයෙන් පසු ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් අතට පත් වන විට ඒවා වෙන් කිරීම පිරිසිදු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණ කිරීමේ ක‍්‍රියාවලිය පහසු කර ගත හැකිය.

තවද ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ නිවැරදි ක‍්‍රමෝපායන් පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කළ යුතුය. එහිදී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි පරිදි අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සඳහා දැනුවත්භාවය වැඩි කිරීමට හා උත්තේජනයක් ඇති කිරීම සඳහා වෙරළ හා සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන ඉලක්ක කරගනිමින් පිරිසිදු කිරීමේ වැඩසටහන් හා ඒ හා සමාන වැඩසටහන් හරහා වැඩි වශයෙන් ජනතාව සම්බන්ධ කර ගත හැකිය. ඉකෝ ස්පින්ඞ්ල්ස් පුද්ගලික සමාගම වසර ගණනාවක් තිස්සේ මෙරට කොකා-කෝලා සමාගමේ ‘Give back life’ - නැවත ජීවයක් දෙමු’ යන වැඩසටහන සමඟ එක්ව කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ආරම්භ කර තිබීම ඊට ලබා දිය හැකි උදාහරණයකි. ඒ අනුව 2019 දී කතරගම පූජා භූමිය තුළදී පමණක් අපට PET ප්ලාස්ටික් කිලෝග‍්‍රෑම් 4227ක් එකතු කරගැනීමට හැකි විය. එය හුදෙක් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් පමණක් නොවූ අතර කතරගමට පැමිණෙන බැතිමතුන්ට හා අමුත්තන්ට ඔවුන් ගෙන එනු ලබන ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳව වඩාත් සිතා බැලීමට මෙමගින් අප ඔවුන්ව දිරිමත් කළෙමු. එමෙන්ම ජනතාවට ඔවුන්ගේ නිවෙස්වලින්, රැකියා ස්ථානවලින් හා ප‍්‍රජාවන්ගෙන් ඉවත දමන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැපයීමෙන් වැඩි පිරිසක් දායක කර ගැනීමට හැකි වූ වැදගත් සමාජ සත්කාරමය වැඩසටහනක් ලෙස ද මෙය පෙන්වා දිය හැකිය.

PET ප්ලාස්ටික් යනු ඉවත දමන දෙයක් නොවේ එය වටිනා සම්පතකි

ශ්‍රී ලංකාවේ ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රයෙහි විභවය ඉතා ඉහල මට්ටමක පවතී. ආර්ථිකමය හා පාරිසරික වශයෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා චක‍්‍රීය ආර්ථික සංවර්ධනය වැදගත් වේ. එමෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩසටහන් චක‍්‍රීය ආර්ථිකයක් කරා යෑමට ප‍්‍රධාන උත්තේජනයක් සපයනු ලබන අතර එමගින් ක්ෂේත‍්‍රයට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අපද්‍රව්‍ය එකතු කරන්නන්ට ප‍්‍රතිලාභ සැලසෙනු ඇත.

2021 වසරේ සිට එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමේ රජයේ තීරණය සහ තිරසාර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණ ද සහිතව, අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කරමින්, ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණයේ පවතින ප‍්‍රධාන ගැටළුවලට සුබවාදී විසඳුමක් ඉදිරිපත් කළ යුතුව ඇත. අප ඒ සඳහා කළ යුත්තේ අපගේ අපද්‍රව්‍ය වෙන්කිරීම සහ කළමනාකරණය පිළිබඳව සැලකිලිමත්ව වීම හා බුද්ධිමත්ව කටයුතු කිරීමයි. එමගින් අපගේ පරිසරයට සිදුවන බලපෑම සැලකිය යුතු තරම් අඩු කර ගත හැකි අතර නිෂ්පාදන සිදු කිරීමේදී ශුද්‍ර අමුද්‍රව්‍ය භාවිතා කරනවාට වඩා ප‍්‍රතිචක‍්‍රීයකරණය වූ ප්ලාස්ටික් භාවිතා කිරීම එහිදී වඩාත් වාසිදායක වනු ඇත. එය සැබවින්ම සියලූ දෙනාටම ආර්ථිකමය හා පාරිසරික වශයෙන් සුවිශාල ජයග‍්‍රහණයක් වනු ඇත.