චීනයේ දැවැන්ත ටයර් නිෂ්පාදකයා Shandong Haohua Tyre හම්බන්තොටට

    November, 20, 2020

    මෙරට ටයර් නිෂ්පාදන හා අපනයන කේෂ්ත්රයට නව මං පෙත් විවර කරමින ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය ලොව ප්රමුඛ ටයර් නිෂ්පාදන සමාගමක්වන Shandong Haohua Tyre Co. Ltd සමාගම සමඟ ටයර් නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ඊයේ (19) දින ගිවිසුම් ගත විය.

    සම්පුර්නයෙන්ම අපනයන වෙළඳපොල ඉලක්ක කරගනිමින් මෙහි ටයර් නිෂ්පාදනය වන අතර, අර්ධවානේ සහ වානේ රේඩියල් ටයර් නිපදවීම ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කෙරේ. බස් සහා‍ ට්‍රක් වැනි බර වාහන ප්‍රමුඛ ඉලක්කයන් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහය (HIPG) විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කාර්මික කලාපය (HIP’s Industrial Park) තුල අක්කර 121 ක භූමියක් ලබා දී ඇත. මේ තුලින් සෘජු රැකියා 2000 කට වැඩි ප්‍රමානයක් ජනිත වනු ඇතැයි අ‍පේක්ෂා කෙරේ.

    මෙම ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන  300කි.  මෙම ආයෝජන ගිවිසුම උපායමාර්ග සංවර්ධන පනත යටතේ ගිවිසුම් ගතවේ. ව්‍යාපෘතිය වසර තුනකින් ඉදිකර අපනයන කටයුතු ආරම්භ කල යුතුව ඇත.

    මෙම ආයෝජන ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, ආයෝජන සමාගම වෙනුවෙන් Cao Mingzhang සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහය වෙනුවෙන් Xu Jiancum  යන මහත්වරු අත්සන් තබන ලදී.

    වර්තමානය වන විට ටයර් කර්මාන්තය  ලොව පුරා විහිදුන විශාලතම ලාභ උපයන කර්මාන්තයක් බවට පත්වී ඇත. එහි වෙළඳපොල විශාලත්වය ඇමරිකානු ‍‍‍‍ ඩොලර් බිලියන  115.07ක් ලෙස ඇස්තමෙන්තුවේ. මෙම කර්මාන්තය  2027 වන විට ඇමරිකානු ‍‍‍‍ ඩොලර් බිලියන  157.43 දක්වා ප්‍රසාරනය වන කර්මාන්තයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් උපකල්පනය කෙරේ.

    ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකානු ‍‍‍‍ ඩොලර් බිලියනයක රබර් නිෂ්පාදන අපනයනය කරයි. 2025 වසර වන විට දී එය බිලියන 2ක අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය සක්‍රීය වීමත් සමඟ අපේක්ෂිත ඉලක්කයෙන්  30%ක් සපුරා ගත හැකිවේ.

    මෙවැන් ව්‍යාපෘති ක්‍රිරියාත්මක  වීමත් සමඟ එහි ප්‍රතිලාභයෙන් සියළු ජන කොටස් අතර බෙදියාමත් රජය අපේක්‍ෂා කෙරේ. කුඩා හා මධ්‍ය පරිමාණ රබර් වැවිලි කරුවන්, කර්මාන්ත සේවකයන් හා ප්‍රරවාහන ක්‍ෂේත්‍රයේ නව ආදායම් අවස්ථා අළුතින් ඇතිවීමක් ද බලාපො‍රෝත්තුවේ. ‍‍මෙම කර්මාන්ත ශාලාව නිෂ්පාදන ක්‍ෂේත්‍රයට එක් වීමත් සමඟ දේශීය වරාය කාර්යය බහුලවීම වීම හා ඒ තුලින් විවිධ ක්‍ෂේත්‍රයන්ට ආදායම් උත්පාදනය වීමක් හා ගලායාමක් අපේක්‍ෂා කෙරේ.

    මෙම අවස්ථාවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරු සහභාගි වූ අතර චීනයේ සිට  Shandong Haohua Tyre Co. Ltd සමාගමේ සභාපති Wang Keqiang මහතා අදහස් ප්‍රකාශ කළහ.

    වරාය අමාත්‍ය  රෝහිත අබේගුණවර්ධන,ගුවන්තොටුපල හා ආයෝජන කළාප සංවර්ධන අමාත්‍ය ඩී.වී.චානක, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.