ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 57.5 ක සීනි ආනයනය කරලා. 186% ක වැඩිවීමක්

    March, 11, 2021

    2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලි සඳහා දරා ඇති සම්පූර්ණ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි සඳහන් වේ. මෙය 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20.0 හා සැසඳීමේ දී 186.9% ක ඉහළ යාමකි.

    සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2019 හා 2020 වර්ෂවල දී දරා ඇති වියදම් පිළිවෙලින් ඩොලර් මිලියන 201.2 ක් හා ඩොලර් මිලියන 277.7 ක් වශයෙන් වේ.

    මේ අතර පාරිභෝගික භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

    “පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ගකර ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම සියයට 24.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා සීනි සහ පොල්තෙල් ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතුවිය. පරිප්පු සහ මිරිස් ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, 2020 ජනවාරි මාසයට සාපේක්ෂව අනෙක් බොහෝ ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවිය.“