ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් කොමර්ෂල් බැංකුවේ ඩොලර් මිලියන 50 ක කොටස් ආයෝජනයක්

    October, 8, 2020

    කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 115,197,186 ක් පුද්ගලික කොටස් නිකුතුවක් ලෙස ඩොලර් මිලියන 50 කට (රුපියල් බිලියන 9.215 කට) ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට ලබාදීමට අවශ්‍ය නිළ කටයුතු මේ වනවිට සම්පූර්ණ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

    මෙය කොමර්ෂල් බැංකුව සිදුකරන පළමු විදේශීය පුද්ගලික කොටස් වෙන්කිරීම බවත්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පසු සිදුකරන පළමු කොටස් ආයෝජනය බවත් බැංකුව සඳහන් කරයි. එසේම, මෙය කොවිඞ්-19 වසංගත තත්ත්වය ආරම්භ වූ පසුව ශ‍්‍රී ලංකාවට ලැබෙන විශාලතම විදේශ ආයෝජනයක් බවද කොමර්ෂල් බැංකුව පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙහි ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ග්‍රෝත් ෆන්ඞ් LP (FIG Fund) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙහි ඉමර්ජින් ඒෂියා ෆන්ඞ් LP (EA Fund) සිදුකරන මෙම ආයෝජනය සමඟ එම ආයතන 3 එක්ව කොමර්ෂල් බැංකුවේ විශාලතම කොටස්කරුවා වේ. ඒ සමඟම කොමර්ෂල් බැංකුවේ විදේශීය කොටස් හිමිකාරීත්වය 30% ක් දක්වා වර්ධනය වීම හේතුවෙන් විදේශීය ආයෝජකයින් තුළ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය තව තවත් වර්ධනය වනු ඇතැයි ද බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී තිබෙන කොටස් වෙන් කිරීමේ තොරතුරු වලට අනුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට කොටස් 34,559,156 ක් හිමිවන අතර ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ග්‍රෝත් ෆන්ඞ් LP (FIG Fund) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ඉමර්ජින් ඒෂියා ෆන්ඞ් LP (EA Fund) වෙත කොටස් 40,319,015 ක් බැගින් හිමිවේ.

    ‘ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොමර්ෂල් බැංකුව හරහා සිදුකළ මෙම විදේශීය ආයෝජනය මගින් පෙන්වන්නේ ශ‍්‍රී ලංකාව කෙරෙහි තබා තිබෙන ඉහළ විශ්වාසයයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මෙම ආයෝජනය මගින් බැංකුවට වගේම රටටත් බොහෝ ප‍්‍රතිලාභ ලැබෙනවා. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් ආර්ථිකයට සහ වෙළෙඳ පොළවල් වලට බලපෑම් ඇතිවී තිබෙන අවස්ථාවක මෙම ආයෝජනය ඉතාමත් වැදගත් වෙනවා. බැංකුවේ ප‍්‍රධාන ආයතනික ආයෝජකයින් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, IFC FIG අරමුදල සහ IFC EA අරමුදල මේ අවස්ථාවේ බැංකුවේ ආයෝජනය කිරීම පිළිබඳව අපි අතිශයින් සතුටු වන අතර මේ තුළින් බැංකුවේ අනාගත වර්ධනයට අවශ්‍ය අරමුදල් ලැබෙන අතරම බැංකුව කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය තව තවත් වර්ධනය වෙනවා.’

    ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මෙම කොටස් මිලදීගැනීම සඳහා කොටසකට රුපියල් 80 ක මිලක් ගෙවීම කැපී පෙනෙන අතර එය මෙම පුද්ගලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ගත් 2020 ජුනි 29 වනදා වනවිට තිබූ කොටසක බර තබන ලද සාමාන්‍ය මිල වන රුපියල් 66.78 කට වඩා 20% ක වැඩි මිලකි.

    කොමර්ෂල් බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ගොඩනැංවීම සඳහා විශාල කැප කිරීම් ප‍්‍රමාණයක් සිදුකරමින් පවතින කාල වකවානුවක සිදුකළ මෙම පුද්ගලික කොටස් නිකුතුව කැපී පෙනේ. කොවිඞ්-19 වසංගත තත්ත්වයට පෙර මෙරට ආර්ථිකය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රමුඛ කාර්ය භාරයක් සිදුකළ අතර කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පසුවද මෙරට ආර්ථිකය නැංවීම සඳහා කාර්ය ප‍්‍රාග්ධන ණය සහ ව්‍යාපාර වලට සහන ලබාදෙමින් බැංකුව විසින් සුවිශේෂී කාර්ය භාරයක් සිදුකරමින් සිටී.

    මේ අනුව බැංකුව විසින්, රජය විසින් ලබාදීමට නියම කෙරුණු ණය සහන කාලයට අමතරව කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ‘අරුණැල්ල’ මූල්‍ය සහයෝගීතා යෝජනා ක‍්‍රමය නමින් විවිධ වැඩසටහන් 11 ක් ක‍්‍රියාත්මක කර තිබේ. මෙම සහන යටතට නම්‍යශීලී ගෙවීමේ විකල්ප, ණය සහන කාලය තුළ ගෙවිය යුතු පොලී මුදලෙන් 20% ක් දක්වා නොගෙවා සිටීමේ සහනය, ණය සහන කාල සීමාව තවත් මාස හයකින් දීර්ඝ කර ගැනීමේ අවස්ථාව, ක්‍රෙඩිට් කාඞ් නැවත ගෙවීම් සහ ගෙවිය යුතු පොලී අනුපාත තවදුරටත් අඩුකර ගැනීමේ අවස්ථාව සහ ණය ඒකාබද්ධ සැලසුම් ලබාගැනීමේ අවස්ථාව අයත් වේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.