ජීවිත රක්ෂණ නියෝජිතයින්ගේ ගැටළු සම්බන්ධයෙන් කම්කරු ඇමති කැඳවූ සාකච්ඡාව රක්ෂණ හාම්පුතුන් මගහරී

    November, 23, 2021

    ජීවිත රක්ෂණ නියෝජිතයින් ලෙස වෘත්තියේ නියැලෙන්නන් හට මූලික වැටුපක් නොගෙවා ඔවුන් ස්වාධීන ගිවිසුම්කරුවන් ලෙස සලකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට මූලික වැටුපක් නොගෙවීම හා EPF, ETF දායකත්ව අරමුදල් නොලැබීම පිළිබඳව ඔවුන් විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබුණු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කම්කරු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එහිදී කම්කරු දෙපාර්තමේන්තුව තීන්දුවක් ලබා දුන් බවත් රක්ෂණ සමාගම් විසින් එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කර ඇති බවත් ය. ස්වාධීන රක්ෂණ නියෝජිතයින්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා දෙකක දී කළ කැඳවීම්, රක්ෂණ හාම්පුතුන් විසින් මඟහරිනු ලැබූ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

    රක්ෂණ සමාගම් විසින් රක්ෂණ නියෝජිතයින් ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් ලෙස අර්ථ ගන්වා සැලකීම තුළින් ඔවුන් සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි පිරිසක් බවට පත්කර තිබෙනවා. මේ වන විට රක්ෂණ කර්මාන්තයේ නියැලී සිටින්නේ 45,000 ක් පමණ පිරිසක් වුවත් මේ වන විට ලක්ෂ 2 කට ආසන්න පුහුණු රක්ෂණ නියෝජිතයින් පිරිසක් රැකියාවෙන් ඉවත්වීමට ද මෙය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙම ක්ෂේත්‍රය තුළ නියැලී සියින රක්ෂණ නියෝජිතයින් හා එමෙන්ම කිහිප ගුණයක් වන ඔවුන්ගේ යැපෙන්නන්ගේ ආරක්ෂාව හා සුබසාධනය ඔවුන්ගේ රැකියාවට නීතිමය පිළිගැනීමක් නොමැතිවීම තුළ ගැටළු සහගත වී තිබෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටළුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

    1. ජීවිත රක්ෂණ නියෝජිතයින් සඳහා ස්ථිර මූලික වැටුපක් හිමි නොවන නමුත් 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත පදනම් කරගෙන අනෙකුත් සමහර රක්ෂණ නියෝජිතයන් සඳහා මූලික වැටුප් ලබා දෙනවා.  මෙසේ එකම පනතක් පදනම් කරගෙන එකම කාර්යය කරන දෙපිරිසකට දෙයාකාරයකට සලකන්නේ කෙසේද? ජීවිත රක්ෂණ නියෝජිතයින් සඳහා ද මූලික වැටුප් හිමිකර දීමට රජය පියවර ගන්නේද? එසේනම් එම පියවර මොනවාද?

    2. සේවක අර්ථසාධක අරමුදල පනතේ රක්ෂිත වෘත්තීන් යන කොටසට රක්ෂණ නියෝජිතයින් ද ඇතුළත් වන සේ සංශෝධනය කිරීමට රජය කටයුතු කරන්නේද? ඒ සදහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?

    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

    රක්ෂණ ආයතන විසින් ජීවිත රක්ෂණ නියෝජිතයන් ස්වාධීන ගිවිසුම්කරුවන් ලෙස සලකා කටයුතු කිරීම නිසා ජීවිත රක්ෂණ නියෝජිතයන් හට මූලික වැටුපක් ගෙවීම වෙනුවට කොමිස් පදනම මත ගෙවීම නිරීක්ෂණය කරනවා. ඒ නිසා අපට ඔවුන්ට වැටුපක් නියම කරන්න පුළුවන්කමක් නැහැ. ඔවුන් උපයන කොමිස් මුදල මත තමයි ඔවුන් ජීවත් වෙන්නේ.

    එය හුදෙක්ම 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ සඳහන් කර ඇති වගන්තිවලින් පැන නගින නෛතික අවහිරතාවයන් හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව සෘජුව මැදිහත් වීමට බාධාවක් පැමිණ ඇත. ඒ තත්ත්වයන් යටතේ මාගේ අවධානය යොමුකිරීමෙන් අනතුරුව අගතියට පත්වී ඇති ජීවිත රක්ෂණ නියෝජිතයින් අප අමාත්‍යාංශයට අවස්ථාවන් දෙකක දී 2021 ජූලි 21 හා 2021 ඔක්තෝබර් 25 දින කැඳවා ඔවුන් සමඟ දීර්ඝව මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් ඒ සාකච්ඡා සඳහා රක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු සමාගම් එක්ව පිහිටුවා ගත් සංගමයට ආරාධනා යොමුකළ ද ඔවුන් සහභාගී නොවූ බැවින් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවයටම පිළිගත හැකි තිරසාර විසඳුමකට එළඹෙන්න බැරිවුණා. මොකද රක්ෂණ හාම්පුතුන් මේ සාකච්ඡා සඳහා ඒමට අදිමදි කරනවා. මම අවසාන වශයෙන් හෙට දිනයක් දීලා තියෙනවා, ඒ රක්ෂණ සමාගම්වල හාම්පුතුන්ට මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණිලා, මේ පිළිබඳව යම් එකඟතාවයක් ඇතිකරගන්න පුළුවන් ද කියලා බලන්න. ඒ අවස්ථාව අපි ඔවුන්ට ලබාදිය යුතුයි.

    අපට තවත් නීතිමය ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවට මේ කාරණය පිළිබඳව රක්ෂණ නියෝජිතයන් පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ල කම්කරු දෙපාර්තමේන්තුවෙන් විභාග කරලා කම්කරු දෙපාර්තමේන්තුව තීන්දුවක් ගත්තා මේ රක්ෂණ නියෝජිතයින්ටත් EPF, ETF ගෙවන්න ඕනේ කියලා. ඒ අපි දෙන ලද තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරලා තියෙනවා රක්ෂණ සමාගම් හිමිකරුවන් විසින්. අපි ඒ නඩුවේ ප්‍රතිඵලයත් බලාපොරොත්තු වෙනවා.