ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් කළමනාකරණ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

May, 6, 2019

මෙරට ප්‍රමුඛත ම 3PL සේවා සම්පාදකයෙකු වන ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගම පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරුවන්ගෙන් සැදුම්ලත් සමාගමක් ලෙස සම්මානයට පාත්‍ර විය.

ගණකාධිකාරී කුෂල්‍යා හපුආරච්චි තිරසර පුද්ගල විශ්වසනීයත්වය කාණ්ඩය යටතේ විශිෂ්ටත ම කළමනාකරුට හිමි සම්මානය හිමිකර ගත් අතර බෙදාහැරීම් මධ්‍යස්ථාන කළමනාකාර සම්පත් ගොඩගම ඉදිරිගාමී ප්‍රතිඵල සහ ක්‍රියාත්මක කිරීමේ කාණ්ඩය යටතේ විශිෂ්ටත ම කළමනාකරුට හිමි සම්මානය හිමිකර ගත්තේය. ගබඩා අධීක්ෂක සමීර දසනායක මානව කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ කාණ්ඩය යටතේ විශිෂ්ටත ම කළමනාකරුට හිමි සම්මානය දිනා ගත්තේය.

ගෝලීය මානව සම්පත් කළමනාකරණ විශේෂඥ ආයතනයක්වන The Great Manager Awards ආයතනය විසින් මෙම සම්මාන පිරිනමනු ලබන අතර හවුල්කාර ආයතනවල කාර්යසාධනය සහ ව්‍යාපාරික ශක්‍යතා වැඩිදියුණු කිරීම එහි අරමුණයි. People Business’ R-OPTI ආකෘතියට අනුවකළමනාකරණ ඵලදායිතාව හරහා යෝජිත නම් ඇගයුමට ලක් කෙරේ. ඉදිරිගාමී ප්‍රතිඵල, ආයතනික දැක්මට අනුව කටයුතු කිරීම, පුද්ගල කාර්යසාධනය වැඩිදියුණු කිරීම, කණ්ඩායම් ඵලදායිතාව ගොඩනැගීම සහ තිරසර පුද්ගල විශ්වසනීයත්වය යන අංශ පහ ඔස්සේ මෙම ඇගයීම සිදුකෙරේ. කීර්තිමත් උපදේශන මණ්ඩලයක් විසින් මෙම සමීක්ෂණ දත්ත විගණනයට ලක් කෙරේ.

"මෙම ඉහළ ජයග්‍රහණ හිමිකර ගත් අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් පිළිබඳ අප බෙහෙවින් ආඩම්බර වනවා. අපගේ සමාගමේ වටිනාම වත්කම අපගේ කණ්ඩායමයි. අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය, වර්ධනය සහ තිරසාරත්වය රඳා පවතින්නේ එක් එක් සාමාජිකයා සැමවිට ම ඔවුන්ගේ උපරිමය ලබාදීමට දක්වන කැපවීම මතයි. අපගේ කණ්ඩායම තුළ ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ නායකත්වයේ කුසලතා වැඩිදියුණු කරන ආයතනික පද්ධතියක් අප ගොඩනගා තිබෙන අතර අප එම කාර්යය මැනවින් ඉටුකරමින් සිටින බව මෙවැනි සම්මාන හරහා තහවුරු වනවා" යනුවෙන් JKLL සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා ප්‍රකාශ කළේය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක්වන JKLL සමාගම, පුළුල් පරාසයක විහිදුනු විශේෂඥ සේවා රැසක් පිරිනමන මෙරට ප්‍රමුඛත 3PL විසඳුම් සම්පාදකයෙකු වෙයි. ප්‍රධාන අධිවේගී මාර්ග, කර්මාන්ත උද්‍යාන, නගර සහ වරායවලට සමීපව පිහිටි නවීන තාක්ෂණයෙන් යුතු ලොජිස්ටික් මධ්‍යස්ථාන ජාලයකින් සමන්විත එම සමාගම සිය දැවැන්ත ප්‍රවාහන රථ වාහන පහසුකම් ද සමගින් සැපයුම් දාම සඳහා පුළුල් ලොජිස්ටික් සහ ඊට අදාළ සේවා අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරයි.

වර්ග අඩි 500,000 ක ලොජිස්ටික් මධ්‍යස්ථාන අවකාශය තුළ උෂ්ණත්ව පාලන පහසුකම් ද පවතින බව JKLL සමාගම පවසයි. පාරිභෝගිකයන් හට අඛණ්ඩ, උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබාදීම සඳහා එම සමාගම දක්වන කැපවීම ඒ සඳහා හිමිවී ඇති ISO 9001:2015 සහ OHSAS 18001:2007 තත්ත්ව සහතික මගින් මැනවින් පිළිබිඹු වේ.

සේයාරූ සටහන: JKLL සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය ගරු හර්ෂ ද සිල්වා මහතා අතින් සම්මානයක් හිමිකර ගත් අවස්ථාව