ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමුන් දිරිමත් කරයි

January, 30, 2019

සොබාදහමේ සහ වෘක්ෂලතා රැක ගැනීමේ අවශ්‍යතාව මෙරට දරුවන් හට අවබෝධ කරවීමේ උදාර පරමාර්ථය පෙරදැරිව CBL සමූහයට අනුබද්ධිත CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ ටියාරා සන්නාමය නවතම ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයට ආසන්නව අවට පන්සලේ සහ දහම් පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

ටියාරා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම ප්‍රදේශවාසීන් සහ වනවගාව වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා කණ්ඩායමක් වන 'තුරු' සංවිධානයේත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හෙට දවසේ මෙරට අනාගතය බාර ගන්නා ළමා පරපුරට පරිසරයට ආදරය කිරීමේ අගය වටහා දෙමින් මෙරට ජෛව පද්ධතියේ උන්නතිය සඳහා දායකත්වය ලබාදීම ටියාරා සන්නාමය දියත් කරන මෙම වැඩසටහනේ මූලික අරමුණයි. දිවයිනේ වැදගත් ජෛව පද්ධති ආශ්‍රිතව මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම එම කණ්ඩායමේ අරමුණයි.

CBL සමූහය සිය පාරිසරික තිරසාරත්ව මෙහෙවරේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කරන 'තුරු සවිය' ප්‍රජා සත්කාරක වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

"ටියාරා යනු පරිසරය සුරැකීම සහ ඒ සඳහා ප්‍රජාව සහභාගී කර ගැනීම සඳහා කැපවූ සන්නාමයක්. 'තුරු' කණ්ඩායම සහ 'තුරු' ජංගම දුරකථන යෙදවුම හරහා වන වගාව සඳහා දරුවන් සහ ප්‍රජාව සම්බන්ධ කර ගැනීමට මෙමගින් අපට හැකිවුණා" යනුවෙන් CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සාමාන්‍යාධිකාරී-අලෙවි නිලුපුල් ද සිල්වා මහතා සඳහන් කළේය.

යක්කල, පල්ලියගොඩැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නන්දාලෝක හිමියන් සඳහන් කළේ, පැළ 150ක් රෝපණය කිරීම හරහා ටියාරා සහ CBL සමාගම මෙම ප්‍රදේශයේ පාරිසරික උන්නතිය සඳහා දායකත්වය ලබාදී තිබෙන බවය. "මෙම වැඩසටහන දියත් කිරීම පිළිබඳ අප එම සමාගමට කෘතඥතාව පළ කර සිටින අතර අද දිනයේ රෝපණය කරන ලද පැළ මෙම ප්‍රදේශයේ පමණක් නොව සමස්ත රටේ ම ස්වභාවික සම්පත් රැක ගැනීම සඳහා දායකත්වය ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරනවා"

වන වගාව ඩිජිටල් මාධ්‍ය හරහා සවිබල ගැන්වීම සඳහා 'තුරු' කණ්ඩායම 'තුරු' ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දී ඇත. ටියාරා සහ දරුවන් එක්ව රෝපණය කරන ලද පැළවල ප්‍රගතිය මෙම යෙදවුම හරහා නිරන්තරයෙන් අධීක්ෂණය කළ හැකිය.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් පළ කරමින් ගම්පහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වන නිලධාරිනී දේවනී ජයතිලක මහත්මිය ප්‍රකාශ කළේ, යක්කල ප්‍රදේශයේ ජල දහරා ආශ්‍රිතව වන ගහණය රැක ගැනීම සඳහා සිය කණ්ඩායම ද CBL සමාගම සහ 'තුරු' කණ්ඩායම සමග අත්වැල් බැඳ ගත් බවය. "ගම්පහ දිස්ත්‍රික්කයේ ශීඝ්‍ර වන සංහාරය නිසා දැනට එම ප්‍රදේශයේ වන ගහණය 2%ක් තරම් අඩු මට්ටමක පවතිනවා. එම අගය කොළඹ දිස්ත්‍රික්කයේ වන ගහණයට ද වඩා අඩු මට්ටමක් වනවා. CBL සමාගම ඔවුන්ගේ 'තුරු සවිය' වැඩසටහන සඳහා වඩාත් උචිත ම ප්‍රදේශයක් තෝරාගෙන තිබෙනවා. අපගේ වන වගා ප්‍රයත්නය සඳහා ඔවුන් දක්වන දායකත්වය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් අගය කරනවා. ගස් වැවීමේ අගය මැනවින් වටහාගෙන තිබෙන බැවින් CBL සමාගම ස්වේච්ඡාවෙන් මෙම සුවිශේෂී ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින අතර ඔවුන්ට අපගේ නොමඳ ස්තූතිය පිරිනමනවා" ජයතිලක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.