ඩීමෝ සහ මහින්ද්‍රා ඒකාබද්ධව ස්වරාජ් ට්‍රැක්ටර්ස් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    March, 14, 2018

    මෙරට කෘෂිකාර්මික සහ අනිකුත් කර්මාන්ත වල වර්ධනයට නව මාදිලි රැසක්

    සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම හෙවත් ඩීමෝ සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමූහය හා එක්ව නවතම ස්වරාජ් ට්‍රැක්ටර් මාදිලි දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

    ඉන්දියාවේ සුප්‍රකට සමාගමක් වන මහින්ද්‍රා සමූහ ව්‍යාපාරයේ කෘෂි උපකරණ අංශය විසින් නිපදවන ස්වරාජ් ට්‍රැක්ටර් මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ ඩීමෝ හි කෘෂි උපකරණ අංශය විසිනි. මෙරට කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන ඩීමෝ විසින් සහතික කරන ලද උපාංග සහ අමතර කොටස් සහ සේවා පහසුකම් සහිතව මෙම ස්වරාජ් ට්‍රැක්ටරය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබයි.

    ඉන්දියාව පුරා 875 කට අධික අලෙවි නියෝජිත ජාලයක් මඟින් සාර්ථකව අලෙවි කෙරන ස්වරාජ් ට්‍රැක්ටරය වසර 40 කට අධික කාලයක් පුරා ඉන්දීය ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ නාමයකි. ස්වරාජ් ට්‍රැක්ටර් මිලියනයකට අධික ප්‍රමාණයක් මේ වනවිට ඉන්දියාව සහ අවට රටවල අලෙවි කර ඇති අතර එම අලෙවිය තුළින් ස්වරාජ් සන්නාමය කෙරෙහි ජනතා විශ්වාසය තවදුරටත් තහවුරු කරගෙන තිබේ. මෙම කාණ්ඩය තුළ ඉහළම එන්ජින් ධාරිතාවකින් යුතු සහ අවම RPM අගයකින් යුතු එකම ට්‍රැක්ටරය වන්නේ ස්වරාජ් ට්‍රැක්ටරයයි. පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව සහිත මෙම ට්‍රැක්ටරය අවම නඩත්තු වියදමකින් යුක්ත වන අතර බොහෝ අළුත්වැඩියා කිරීම් ගොවීන්ටම සිදු කර ගත හැකි ආකාරයට නිපදවා තිබීම විශේෂත්වයකි. ඕනෑම බිමක ඕනෑම කාර්යයක් සඳහා ස්වරාජ් ට්‍රැක්ටරය සුදුසු බව මේ වනවිට තහවුරු වී තිබේ.

    කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අමතරව අනිකුත් බර ඇදීම් සහ ඉදිකිරීම් යන ඕනෑම ක්ෂේත්‍රයක කාර්යයන් සඳහා ස්වරාජ් ට්‍රැක්ටරය සුදුසු වෙයි. ඩීමෝ වෙතින් සැපයෙන විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සහ දිවයින පුරා පහසුවෙන් අමතර කොටස් ලබාගැනීමට ඇති හැකියාව මෙහි ඇති තවත් විශේෂතාවන් ය. මේ සියල්ල සමඟ ස්වරාජ් ට්‍රැක්ටරය තරඟකාරී මිල ගණන් යටතේ මිලදී ගත හැකිවීම ද විශේෂතාවයකි.

    මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානි, උප සභාපති සන්ජේ ජාදව් මහතා සඳහන් කළේ මහින්ද්‍ර හි සේවය කරන බොහෝ ඉංජිනේරුවන් ගොවි පසුබිම් වලින් පැවැත එන්නන් බවයි. මේ නිසා ගොවිබිමට සරිලන ආකරයට නියම නිෂ්පාදනයක් බිහිකිරීමට ඔවුන් සමත් වී ඇති බව පෙන්වා දුන්නේය. ස්වරාජ් ට්‍රැක්ටර් ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ අරමුණ වන්නේ ගෙවන මිලට ඉහළ කාර්යක්ෂමතාවකින් කටයුතු ඉටු කර ගැනීමට ගොවි ජනතාවට සහය වීම බවත් ඒ ඔස්සේ නිදහස් මනසකින් යුක්තව කෘෂිකර්මාන්තයේ නිරවීමට ගොවි ජනතාවට අවස්ථාව හිමිවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    ස්වරාජ් ට්‍රැක්ටර්ස් හඳුන්වා දීම පිළිබදව අදහස් දැක්වූ ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර උසස් තත්වයේ නිෂ්පාදන හා සේවා මෙරටට හඳුන්වාදීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගැනිමට ඩීමෝ සමත් වී ඇති බවයි. ඉන්දියාව සහ ඒ අවට රටවල ගොවි ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කළ ස්වරාජ් ට්‍රැක්ටරය මෙරටට හඳුන්වාදීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකන බවද හෙතම මෙහිදී පැවසීය. නිරන්තරයෙන්ම මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයට සහයෝගය දෙන සමාගමක් වශයෙන් ඩීමෝ සමාගම මෙම නව ට්‍රැක්ටර් හඳුන්වා දීම තුළින් කෘෂිකර්මාන්තයේ පිරිවැය අඩු කොට ගොවීන්ට වැඩි ලාභයක් අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දෙන බවද රංජිත් පණ්ඩිතගේ මහතා පැවසීය.

    ස්වරාජ් ට්‍රැක්ටර්ස් හදුන්වාදීමේ අවස්ථාවේදී මාදිලි දෙකක් හදුන්වා දුන් අතර ඒවා 855FE සහ 744FE ලෙස හදුන්වයි. මේ අතරින් SW 855FE ට්‍රැක්ටරය අශ්ව බල 50 - 55ක එන්ජිමකින් සමන්විත වන අතර සිලින්ඩර 3 ජල සිසිල්කරණ එන්ජිමකින් සමන්විත වෙයි. 3308 CC ක ධාරිතාවයකින් යුතු මෙම ට්‍රැක්ටරය ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා සහ පස් ආශ්‍රිත කටයුතු සඳහා ගැලපෙන ආකාරයට නිපදවා තිබේ. Direction control valve, multi speed forward and reverse PTO ආදී පහසුකම් වලින් සමන්විත මෙම ට්‍රැක්ටරය, power steering, dual clutch ආදී විශේෂාංග වලින්ද සමන්විත වන අතර කිලෝ ග්‍රෑම් 1500 ක් දක්වා බර පැටවීමේ හැකියාවෙන්ද යුක්ත වෙයි.

    ස්වරාජ් 744FE ට්‍රැක්ටය අශ්වබල 45 -50 ත් අතර එන්ජින් ධාරිතාවයකින් යුතු ට්‍රැක්ටරයකි. සිලින්ඩර 3 ජල සිසිල්කරණ එන්ජිමකින් සමන්විත මෙම ට්‍රැක්ටරය ඉන්ධන අරපිරිමැස්ම අතින් ඉහළ මට්ටමේ ට්‍රැක්ටරයකි. 3136 CC ක ධාරිතාවයකින් යුතු මෙම ට්‍රැක්ටරය multi speed forward and reverse PTO ආදී පහසුකම් වලින් යුක්ත වන නිසා අවම ඉන්ධන පිරිවැයකින් මෙහෙයුම් කටයුතු කළ හැකි වෙයි.