ඩීමෝ, ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හා අත්වැල් බැඳ ගනියි

October, 1, 2019

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු  සමාගම (ඩීමෝ), ලෝ ප්‍රකට ඇමරිකානු බල මෙවලම් නිෂ්පාදකයකු වන ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් සමග අත්වැල් බැඳ ගැනීම පසුගියදා නිවේදනය කෙරිණි. මේ සබඳතාවය ඔස්සේ, ඩීමෝ, ශ්‍රී ලංකාව තුළ ඩීවෝල්ට්, බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හා ස්ටැන්ලි නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කරන අතර, එම උසස් වෙළෙඳ සන්නාමයන් සමග ඩීමෝ බල මෙවලම් වෙළෙඳ පොළ තුළ තවදුරටත් ශක්තිමත් වීම අපේක්ෂා කරයි.

දේශීය බල මෙවලම් වෙළෙඳ පොළ කොටස් තුනකින් යුක්ත වන අතර නව සබඳතාවය හේතුවෙන් මෙම සෑම වෙළෙඳ පොළක් සඳහාම, සැපයුම් ලබා දීමේ හැකියාව ඩීමෝ සතු වෙයි.

ස්ටැන්ලි නිෂ්පාදන සමග බල මෙවලම්, උපාංග හා අනෙකුත් මෙවලම්, ඩීවෝල්ට් සමග බල මෙවලම් හා උපාංගද, බ්ලැක් ඇන්ඩ් ඩෙකර් වෙතින් බල මෙවලම් හා විද්‍යුත් ගෘහ උපකරණද ඇතුළත් නවතම නිෂ්පාදන ප්‍රමාණයක් හඳුන්වා දීමේ හැකියාව ඩීමෝ වෙත පවතී.

“ලාංකික පාරිභෝගිකයන්ගේ වැඩ කටයුතු සහ දින චරියාව පහසු කිරීමේ බලාපොරොත්තුවෙන් ලෝකයේ හොඳම නිෂ්පාදන ගෙන ඒම පිණිස, ලෝකයේ හොඳම බල මෙවලම් නිෂ්පාදකයා වන ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් සමගින් සම්බන්ධ වීම අපට ආඩම්බරයක්” ඩීමෝ හා ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් අත්වැල් බැඳ ගැනීම සනිටුහන් කරමින්, ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ සඳහන් කළේය.

“ශ්‍රී ලංකාව, ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් වැනි සමාගමකට ඉතා වැදගත් වෙළෙඳ පොළකි. මෙවලම් හා ගබඩා විසඳුම් සඳහා ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් ලෝක නියමුවා වන අතර, අපගේ පාරිභෝගිකයින්, කර්මාන්ත පාදක කරගත් පාරිභෝගිකයින්, වඩු කාර්මිකයින් ආදී වෘත්තිකයින්, ජලනල කාර්මිකයින් මෙන්ම ස්වකීය කටයුතු තමන් විසින්ම කර ගන්නා  ගෘහස්ථ පාරිභෝගිකයින් ආදී පිරිසගෙන් සමන්විත වෙනවා. එතුළින් පෙන්නුම් කෙරෙන්නේ අපගේ නිෂ්පාදන පාරි‍භෝගිකයන්ගේ දිනපතා ගැටලුවලට පිළියම් සෙවීම අරමුණු කෙරෙන බවයි” ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් ඉන්දියා පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රධේශ් වර්මා සඳහන් කළේය.

“ඩීමෝ හැමවිටම ලෝකයේ හොඳම ඉංජිනේරු සන්නාමයන් සමග සම්බන්ධ වෙනවා වගේම අපගේ ඉදිරි ව්‍යාපාර සැලසුම් සඳහා දේශීය බල මෙවලම් කර්මාන්තයේ සියලු පිරිස් වෙත සැපයුම් ලබා දිය හැකි විශාල නිෂ්පාදන ප්‍රමාණයක් සහිත සමාගමක් සමග අත්වැල් බැඳ ගැනීම අවශ්‍ය වෙනවා. ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් අපි වෙනුවෙන් එම අවශ්‍යතාවය සපුරනවා වගේම, රුපියල් බිලියන 3.5 ක අගයෙන් යුතු ශ්‍රී ලංකාවේ බල මෙවලම් වෙළෙඳ පොළ තුළ වඩාත් ශක්තිමත් වීමට මෙම සම්බන්ධතාවය ඉවහල් බව අපගේ විශ්වාසයයි” යනුවෙන් ඩීමෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විරංග වික්‍රමරත්න සඳහන් කළේය‍.

ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් ඉන්දියා පුද්ගලික සමාගමේ දකුණු ආසියා කලාපයේ විකුණුම් අධ්‍යක්ෂ, නිලන්ජන් භට්ටාචාර්ය සඳහන් කළේ ශ්‍රී ලංකාව වර්ධනය වෙමින් පවතින වෙළෙඳ පොළක් ලෙසින් පැවතීම නිසා රට තුළ විශාල වශයෙන් ආයෝජන කිරීමට සැලසුම් කර ඇති බවයි. “මේ සබඳතාවය සමාගම් දෙක අතර වැඩි සහයෝගීතාවක් ගොඩනගා ගැනීමට රුකුළක් බව අපට විශ්වාසයි. ඩීමෝ දේශීය වෙළෙඳපොළ තුළ ගෞරවනීය සමාගමක් බවට අප හඳුනාගෙන තියෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර ප්‍රකට සන්නාම කළමණාකරණයෙහි ලා ඩීමෝ හි විශේෂඥ පළපුරුද්ද, මේ සබඳතාව සම්පූර්ණ කරන්නක් වන අතර, ඔවුන්ගේ අලෙවියෙන් පසු සේවා හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඩීමෝ අපේක්ෂා කරයි.

රටපුරා පාරිභෝගිකයින් සඳහා මෙම නව නිෂ්පාදන සැපයීම පිණිසම කැපවුණු බලයලත් සේවා සැපයුම්කරුවන් පිරිසක් දිවයින පුරා පත් කිරීමටද සැලසුම් කරමින් පවතියි. සමාගම සිය නව සම්බන්ධතාවය එහි වෙළෙඳ සහකරුවන් හට දැනුම් දීම පිණිස උත්සව දෙකක් සංවිධානය කරනු ලැබීය. එහි පළමු උත්සවය කර්මාන්ත හා ආයතන ගත අලෙවි පාර්ශවය ඉලක්ක කර පැවැත්වූහ. මෙම උත්සවයට විවිධ සමාගම් නියෝජනය කරමින් 150 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

දෙවැනි උත්සවය වෙන්වූයේ රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අලෙවි නියෝජිතයින් වෙනුවෙනි. අලෙවි නියෝජිතයින් බල මෙවලම් ව්‍යාපාරයේදී වැදගත් මෙහෙයක් ඉටු කරන අතර, ඩීමෝ ඔවුන් අගය කිරීමේ සැලැස්මක් ද දියත් කර තිබුණි. දිගු කාලයක් තිස්සේම ඩීමෝ හා රැඳී සිටින අලෙවි නියෝජිතයෝද අගය කිරීම මෙහිදී සිදු විය.

 

ඡායාරූප විස්තරය - ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ වෙතින් ඒ.සී. පෝල් සහ සමාගමේ ජස්ටින් ඩැනියල් සමරු තිලිණයක් ලබා ගත් අවස්ථාව, ඩීමෝ විධායක අධක්ෂ අසංග රණසිංහ, ඩීමෝ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විරංග වික්‍රමරත්න එම අවස්ථාවට සහභාගි වූහ.