ඩොලර් බැඳුම්කර වෙළඳපොළට ශ්‍රී ලංකාව යළි පැමිණෙයි

    April, 13, 2018

    ඇ.එ. ජ. ඩොලර් බැඳුම්කර වෙළඳ පොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී  ජනරජය (“ශ්‍රී  ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (“ශ්‍රී ල ම බැ”), වසර 5 ක පරිනත කාලයකින් යුත් ඇ.එ. ජ.  ඩොලර්  බිලියන 1.25ක් හා වසර 10 ක පරිනත කාලයකින් යුත් ඇ.එ. ජ. ඩොලර්  බිලියන 1.25ක ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත පත්‍රිකා (පත්‍රිකා), අනුපිළිවෙලින් 2023 අප්‍රේල් 18 සහ 2028 අප්‍රේල් 18 යන කල් පිරීම් දින සහිතව 2018 අප්‍රේල් 11 වන දින නිකුත් කරන ලදී. මෙම පත්‍රිකා සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investors Service), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (standard and Poor’s) සහ ෆිච් රේටින්ග්ස් (Fitch ratings) යන ආයතන මගින් පිළිවෙලින් 'B 1', 'B +' සහ 'B +' යන ශ්‍රේණි ගත කිරීම් ලබා දෙන ලදී.

    මෙය, 2007 වසරේ සිට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලෙහි ශ්‍රී ලංකාව සිදු කළ දොළොස් වන ඇ.එ. ජ. ඩොලර් බැඳුම්කර නිකුතුව සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාව තුල සිදුවූ විශාලතම අක් වෙරළ බැඳුම්කර නිකුතුව නියෝජනය කරන අතර එය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය ප්‍රබල ලෙස පෙන්නුම් කරයි. මෙම සාර්ථක ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ  පොත් පවත්වා ගන්නන් ලෙස සිටිගෘප් (Citygroup), ඩොයිෂ් බෑන්ක් (Deutsche Bank), එච්එස්බීසී (HSBC), ජේ.පී.මෝර්ගන් (J.P.Morgan) හා ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (Standard Chartered Bank) කටයුතු කරන ලදී.  

    අභියෝගාත්මක වෙළඳපොළ පරිසරයක සුදුසු නිකුතු කවුළු හඳුනා ගනිමින්, 2018 අප්‍රේල් 11 වන දින ආසියානු කළාපයේ උදය කාලයේදී ශ්‍රී ලංකාව විසින් ගනුදෙනුව නිවේදනය කරන ලදී. ඒකාබද්ධ හවුල්කාරිත්වය විසින් මෙම නව, වසර 5 ක සහ වසර 10 ක පරිණත කාළ සහිත ණය කාණ්ඩ සඳහා පිළිවෙලින් 6.00%ක් සහ 7.00%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. ණය කාණ්ඩ දෙකෙහිම මිල මාර්ගෝපදේශ, පදනම් අංක 25කින් පහළ දැමීමට නිකුත් කරන්නාට හැකියාව ලබා දෙමින්, ඉහල ගුණාත්මක බවකින් යුතු ආයෝජකයන් පුළුල් පරාසයක් සහිතව දැඩි උනන්දුවක් මෙම ගණුදෙනුව සඳහා දක්වන ලදී. අවසානයේදී, වසර 5 වසර 10 ණය කාණ්ඩ සඳහා පපත්‍රිකා මිලකරණය නිව්යෝර්ක් පැය කාල  පරාසය තුලදී පිළිවෙලින් 5.75% සහ 6.75% ක කූපන් අනුපාතිකය  සහිතව මූලික මිල මාර්ගෝපදේශයට වඩා අඩු අගයකින් සිදු කරන ලදී.   

    අවසාන ඇණවුම්  පොතෙහි වසර 5 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 235කට අධික ප්‍රමාණයක් තුලින් ඇ.එ. ජ. ඩොලර් බිලියන 3.0 කට අධිකවද, වසර 10 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 190 කට වඩා වැඩි ප්‍රමාණයක් තුලින් ඇ.එ. ජ. ඩොලර් බිලියන 3.5කට අධිකවද ඇණවුම් ලැබිණ. මෙයින් පැහැදිළිව පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව සහ එහි  ආර්ථික දැක්ම කෙරෙහි  ආයෝජකයන් තුල ඇති අඛණ්ඩ විශ්වාසයයි. 
    ඇණවුම් පොතෙහි ණය කාණ්ඩ දෙකම ඉතා හොඳින් විවිධාංගීකරණය වී  ඇත. පස් අවුරුදු කාණ්ඩයෙන් 66%ක් ඇ.එ. ජනපද ආයෝජකයන්ගෙන්ද, 24%ක් යුරෝපා ආයෝජකයන්ගෙන්ද, ඉතිරි 10% සඳහා  ආසියානු ආයෝජකයන්ගෙන්ද සමන්විත වේ. 

    ආයෝජක වර්ගය අනුව 92% ක් අරමුදල් කළමනාකරුවන්ටද, 5%ක් රක්ෂණ හා විශ්රා ම අරමුදල් වලටද, 2% ක් බැංකු වලටද සහ 1% ක් පෞද්ගලික බැංකු වලටද බෙදී යන ලදී. දස අවුරුදු කාණ්ඩයෙන් 65%ක් ඇ.එ. ජනපද ආයෝජකයන්ගෙන්ද, 29% ක්  යුරෝපා ආයෝජකයන්ගෙන්ද සහ ඉතිරි 6%  ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. මෙය ආයෝජක වර්ග අනුව,  බෙදා වෙන් කිරීමේදී  පස් අවුරුදු කාණ්ඩය හා  සමාන වේ. එනම් 92% ක් අරමුදල් කළමනාකරුවන්ටද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල් වලටද, 2% ක් බැංකු වලටද සහ 1%ක් පෞද්ගලික බැංකු වලටද බෙදී යන අයුරින් වේ.