ඩොලර් බිලියන 4.5ක එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබා ඩොලර් බිලියනයක ණයක් ගන්නා බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් – මහ බැංකුව අවධාරණය කරයි

    July, 24, 2020

    අවශ්‍ය අවස්ථාවල දී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන්  ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එළඹිණි. මෙම පහසුකම ශාස්ත්‍රීය වචනවලින් හැදින්වෙනුයේ, "විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන්" සඳහා වූ එක්දින ප්‍රතිමිලදීගැනුම් පහසුකමක් (Overnight Repurchase Facility) වශයෙනි. ලොව පුරා බොහෝ  මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරාගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිතා කොට ඇත. අපගේ දීර්ඝ කාලීන විදේශීය විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යූහමය වෙනස්කම් සිදු කිරීමකින් තොරව, අවශ්‍ය අවස්ථාවන්හි දී, කෙටිකාලීන අරමුදල් අවශ්යතා සපුරා ගැනීමට මහ  බැංකුවකට මෙම පහසුකම මගින්  ඉඩ සැලසේ.

    කොවිඩ්-19 (COVID-19) හා බැඳුණු අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දීමේ සැලසුම්වල කොටසක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව ඉහත කී  ප්‍රතිමිලදීගැනුම් ගිවිසුමට එළඹීමේ දී ඒ සඳහා යෙදවූයේ, ස්වකීය විදේශ විනිමය සංචිතයෙහි ඇතුළත් එක්සත් ජනපද ඩොලර් බිලියනයක් පමණක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයකි. මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුවට, අවශ්‍ය අවස්ථාවල දී, එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා අරමුදල් සපයා ගැනීමට පහසුකම් හිමි වේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ප්‍රතිමිලදීගැනුම් පහසුකම පියවා දැමූ විට ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව උකස් කළ බැඳුම්කර නැවත අප වෙත නිදහස් කරනු ඇත. එසේ වූ විට ශ්‍රී ලංකා මහ බැංකු සංචිතයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට දැරීමට සිදුවන පිරිවැය වනුයේ සියයට 0.35ක් පමණ වන වාර්ෂික ප්‍රතිමිලදීගැනුම් ගාස්තුව පමණි.

    මේ වන විට ශ්‍රී ලංකා මහ  බැංකුව ෆෙඩරල් සංචිත බැංකුව සමග මෙම ගිවිසුමට එළඹ සිටිය ද කිසිදු ණය ගැනීමක් තවමත් සිදුකර නොමැත. ඕනෑම අවස්ථාවක දී අදාළ පහසුකමින් ඉවත්වීමේ අයිතිය ශ්‍රී ලංකා මහ  බැංකු අභිමතය යටතේ පවතී.

    ඒ අනුව, එක්සත් ජනපද ඩොලර් බිලියන 4.5ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් අප එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගන්නට යන බවට මාධ්‍යයන් හි පැතිර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයකි. මෙවැනි පහසුකම් ඉතා සාමාන්‍ය, එසේම අවශ්‍ය වූ විට භාවිතා කළ හැකි ස්වාධීන මූල්‍ය පහසුකමක් වන බව ශ්‍රී ලංකා මහ  බැංකුව අවධාරණය කර සිටී.

    (මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)