ඩොලර් මිලියන 500 ක් ණය ගෙවූ පසු විදෙස් සංචිතයේ අලුත්ම තත්ත්වය?

    January, 20, 2022

    ශ්‍රී ලංකාව නිකුත් කරන තිබුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරී බැඳුම්කරයක් පසුගිය 18 වනදා කල්පිරීම හේතුවෙන් එය පියවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණි.

    අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ කෙසේදැයි යන පැනයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, සංචිත උපයෝගී කරගනිමින් අදාළ පියවීම සිදුකළ බවයි.

    “සියලුම ගෙවීම් කරන්නේ සංචිතවලින්. ස්වෛරී බැඳුම්කරවලට පමණක් නොවෙයි, සියලුම රජයේ විදෙස් ණය ගෙවීම සඳහා යොදා ගන්නේ එම ක්‍රමවේදයයි.“

    මේ අතර ණය ගෙවීමෙන් පසු මහ බැංකුවේ විදෙස් සංචිතයේ තත්ත්වය මෙම මාසය අවසානයේ දී දැන ගත හැකිවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    “මහ බැංකුවේ සංචිත තත්ත්වය පිළිබඳව සතිපතා ආර්ථික විවරණය හරහා අපි දැනුම් දෙනවා. මේ මාසය අවසානයේ දී නවතම සංචිත තත්ත්වය දැනගත හැකියි.“