ණය අාපසු ගෙවීමට අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුයි – UN විශේෂඥයා පවසයි

September, 12, 2018

සෑම දෙනාම ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගනු ලබන පියවරවලට කේන්ද්‍රීය විය යුත්තේ මානව අයිතිවාසිකම් යැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙකු පවසයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිවල සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව, මානව අයිතිවාසිකම් බලපෑම තක්සේරු කළ යුතු යැයි“, රට තුළ දින 9 ක සංචාරයකින් පසුව ප්‍රකාශයක් නිකුත් කරන මානව අයිතිවාසිකම් කෙරෙහි විදේශ ණය බලපෑම පිළිබඳ ස්වාධීන විශේෂඥයකු ජුවාන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි පැවසුවේය.

“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ආණ්ඩුව තෝරා ගෙන ඇති උපාය මාර්ගය වන්නේ අන්තර්ජාතික ණය ගැනීම් තුළින් ආදායම සහ විදේශ අංශ ශක්තිමත් කිරීමෙන් ආර්ථිකය ස්ථාවර කිරීමයි. ඊට දැවැන්ත යටිතල ව්‍යාපෘති සංවර්ධනය කිරීම ද ඇතුළත් ය. ඒවාට පසුගිය පාලන සමයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති බොහොමයක් ද ඇතුළත්“, යැයි බොහොස්ලාව්ස්කි මහතා කීවේය.

ණය ආපසු ගෙවීම දැන් රටේ වැදගත්ම වැය ශීර්ෂය වන අතර ඒ සඳහා ලබා ගන්නා ණයවලින් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට සිදුව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

කෙසේ වුවත් ණය අපසු ගෙවීම සඳහා වඩාත් අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුය. සැලකිල්ලට ගත යුතු වෙනත් විකල්ප පවතී. අනුක්‍රමික බදු ප්‍රතිසංස්කරණ තුළින් දේශීය ඉල්ලුම නගා සිටුවීම, සමාජයීය ප්‍රතිලාභ වැඩි කිරීම, අවම වැටුප් වැඩි කිරීම සහ කිසිවෙකු මග නොහැරීම තහවුරු කිරීම සඳහා ආදායම් ජනනය කරනු සඳහා ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම ගැන නැවත සාකච්ඡා කිරීම ඒවාට ඇතුළත් යැයි බොහොස්ලාව්ස්කි මහතා අවධාරණය කළේය.

“සම්පත් වඩාත් විශාල වශයෙන් යෙදවිය යුතු බවට පොදු එකඟතාවයක් පවතී. ලොව පුරා ගලා යන නීති විරෝධී මුදල්වලින් වැඩිම පුමාණයක් දේශ සීමා හරහා කෙරෙන බදුවලට අදාල ගනුදෙනු යැයි ගණනය කර ඇත. කෙසේ වුවත් බදු පැහැර හැරීම රටේ නීතිය අනුව වරදක් සේ නොසැලකෙන නිසා තම ගනුදෙනුකරුවන්ගේ බදු ගෙවීම පැහැර හැරීමට අදාළ සැක කටයුතු ගනුදෙනු දැනුම්දීමට බැංකුවල බැඳීමක් නැත. මෙම නීති හිඩැස පියවන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි“, යනුවෙන් ඔහු පැවසීය.

2009 යුද්ධය අවසන් වීමෙන් පසුව, කොළඹ බාහිර වටරවුම් අධිවේගී මාර්ගය, විදුලි උත්පාදන කම්හල්, හම්බන්තොට වරාය සහ හම්බන්තොට ගුවන් තොටුපොළ ඇතුළත් මහා පරිමාණ ව්‍යාපෘති රට පුරා ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ නීති රාමුවෙන් මෙවැනි මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සවිස්තරාත්මක මානව අයිතිවාසිකම් බලපෑම් තක්සේරු කිරීමක් සඳහා නීතිමය බැඳීමක් ස්ථාපනය කර නැත. එම නිසා පවතින අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප්‍රමිතීන් පදනම්ව මෙම ගැටලු පිළිබඳව ශක්තිමත් සහ සවිස්තරාත්මක නීති සම්මත කිරීමට මම ආණ්ඩුවට උපදෙස් දෙන්නෙමි“, යැයි බොහොස්ලාව්ස්කි මහතා කීවේය.

ණය ලබා ගන්නට තම ජීවන මාර්ග පවත්වා ගැනීමට හැකි කරවීමෙන් ලොව පුරා බොහෝ දෙනා දරිද්‍රතාවයෙන් ගලවා ගැනීමට ඉවහල් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගැන මම විශේෂිත අවධානය යොමු කළෙමි. කෙසේ වුවත් මගේ අවධානයට ලක් වූ ණය දෙන්නන් විසින් කරනු ලබන අයථා කටයුතුවල සංඛ්‍යා, බහුලත්වය සහ බරපතලකම ගැන රජය කඩිනම් පියවර ගත යුතුය.

“ක්ෂුද්‍ර මූල්‍ය ලබා ගන්නන් විශාල සංඛාවක් දක්නට ලැබිණ. ඒ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල සහ අනෙකුත් දුප්පත් ස්ත්‍රීන් ය. ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ලබා දෙන්නන්ට විශේෂයෙන් ඉලක්ක වී ඇත. මෙම ආයතන තම ණය සඳහා සියයට 220 ක පොලී අනුපාත අයකරති. එමෙන්ම එය වැල් පොලී අනුපාතිකයකි. මෙම යාන්ත්‍රණයෙන් ණය ලබා දෙන්නන්ට විශාල ලාභ අත්කර දෙන අතර වැඩි වශයෙන්හ ගැහැනුන් දුප්පත් ණය ලබා ගන්නන් මත ඉමහත් බරක් පැටවේ,“ යැයි ඔහු අවධාරණය කළේය.