ණය ශ්‍රේණිය පහළ හෙළීමට ඉක්මන් වූවා වැඩිද?

December, 4, 2018

ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතන දෙකක් වන මූඩීස් සහා ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තිබුණු මට්ටමෙන් පහළට දැමීමට මේ වන විට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් දැනට රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය පදනම් කරගනිමින්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීමට කටයුතු කිරීම, ඉක්මන් තීරණයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා ඇත්තේ පවතින කෙටිකාලීන දේශපාලන අස්ථාවරත්වය පදනම් කරගනිමින් මෙවැනි තීරණයක් ගැනීමට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන පියවර ගෙන ඇති බවයි. මෙවැනි අස්ථාවර තත්ත්වයන් බොහෝ විට සති කිහිපයක් වැනි ඉතා කෙටි කලකට සීමා වන බව ඔහු මෙහිදී අවධාරණ්‍ය කර තිබේ.