ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය සෝයා බෝංචි ආනයනය කිරීමට සැරසෙයි

    September, 3, 2024

    ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වන වාර්ෂික බඩඉරිඟු සහ සෝයා බෝංචි අවශ්‍යතාව පිළිවෙලින් මෙට්‍රික්ටොන් 12,000ක් සහ මෙට්‍රික්ටොන් 6,000ක් පමණ වේ.

    දැනට පවතින බඩඉරිඟු සහ සෝයා බෝංචි හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වාර්ෂික සැපයුම් අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට නොහැකි බැවින්, එකී අවශ්‍යතාව විදේශීයව සපුරා ගැනීමට සිදුව ඇත.

    ඒ අනුව, ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ බඩඉරිඟු සහ සෝයා බෝංචි සපයා ගැනීම පිණිස ලංසු කැඳවා තිබේ.

    එකී ලංසු ඇගයීමෙන් අනතුරුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත පහත පරිදි කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    • බඩඉරිඟු මෙට්‍රික්ටොන් 6,000ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය M/s KST Evergreen (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීම.
    • සෝයා බෝංචි මෙට්‍රික්ටොන් 3,000ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය M/s SDK United Agri Ventures (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීම.