තාක්ෂණය සමගින් ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා A&E සමාගම CGS සමාගම සමග අත්වැල් බැඳ ගනී

August, 30, 2017

උසස්ම ප්‍රමිතියෙන් යුතු කාර්මික සහ පාරිභෝගික නූල්, එම්බ්‍රොයිඩරි නූල් හා තාක්ෂණික රෙදිපිළි ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකුවන A&E සමාගම, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඵලදායීතාව හා සේවක උනන්දුව වැඩිදියුණු කිරීම සඳහා CGS සමාගම සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. CGS සමාගම, ව්‍යාපාරික යෙදවුම්, ව්‍යවසාය ඉගෙනුම් සහ බාහිර සේවා සම්පාදන සමාගමකි. සෑම දිනකම ගෝලීය ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා එම ක්ෂේත්‍රයේ සමාගම් සඳහා සහයෝගය ලබා දීමට නිබඳ කැපවන A&E සමාගම, එම ඉලක්කය තවදුරටත් ජය ගැනීම සඳහා CGS සමාගම සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ තමන් ඉතා සතුටුවන බව පවසයි.

CGS සමාගමේ ව්‍යාපාරික යෙදවුම් සහ තාක්ෂණික බාහිර සේවා අංශයේ සභාපති පෝල් මාගෙල්, A&E සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස් මිලර් ඇතුළු නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්තයන් සහ A&E Lanka සමාගමේ නිලධාරීන් මෙන්ම විවිධ පාර්ශ්වකරුවෝ රැසක් ද කොළඹදී පැවති මෙම විශේෂ දැනුම්දීමේ අවස්ථාවට සහභාගී වූහ.

තම නිෂ්පාදනවල ප්‍රමිතිය උපරිම අයුරින් පවත්වා ගනිමින් කාලයත්, නිෂ්පාදන පිරිවැයත් අවම කර ගැනීම සඳහා ඵලදායීතාවත්, කාර්යක්ෂමතාවත් වැඩිදියුණු කර ගැනීම වත්මන් ඇඟලුම් නිෂ්පාදකයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයි. CGS සමාගමේ BlueCherry® වැඩ බිම් පාලකය මගින්, නිෂ්පාදන එකතු කිරීම සහ වාර්තාකරණය ස්වයංක්‍රියකරණය කරන අතර, එමගින් එම මොහොතේදීම කර්මාන්තශාලා භූමියේ කාර්යසාධනය දැකබලා ගැනීමටත්, එහි පාලනය පහසු කිරීමටත් සහය ලබා දෙයි.
1984 වසරේදී පළමු BlueCherry කර්මාන්තශාලා බිම් පාලකය ස්ථාපනය කිරීමේ පටන් මේ දක්වා එම ටර්මිනල දහස් ගණනක් ස්ථාපනය කෙරී ඇති අතර එමගින් සමාගම්වලට මාස 6ත්-12ත් අතර කාලයක් තුළ ආයෝජන ප්‍රතිලාභ හිමිකර දීමට ද හැකි වී තිබේ.

"ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන පහසුකම් ලොව ඇති වඩාත් නවීන පහසුකම් අතර වනවා. A&E සමාගමේ අංක එකේ නූල් සහ CGS සමාගමේ BlueCherry® කර්මාන්තශාලා බිම් පාලක තාක්ෂණය භාවිතයට ගැනීම හරහා නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීමට එම ලෝක මට්ටමේ මෙහෙයුම්කරුවන්ට අවස්ථාව උදා වී තිබෙනවා" මිලර් මහතා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මාගෙල් මහතා සඳහන් කළේ නිෂ්පාදන මෙහෙයුම් සහ ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා A&E සමාගම වෙළඳපල තුළ දක්වන කැපවීම පිළිබඳ තමන් ඉතා සතුටුවන බවය. ශ්‍රී ලංකාව තුළ A&E සමාගම සමග සබඳතා තවදුරටත් සවිමත්කර ගැනීමට තමන් බලාපොරොත්තුවන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

A&E සමාගම වසර 125 කට අධික කාලයක් තිස්සේ මෙම රෙදිපිළි ක්ෂේත්‍රයේ නිරතවන අතර එම සමාගම එහි භාවිත වන අති නවීන තාක්ෂණය, පුළුල් බෙදාහැරීම් මෙහෙයුම්, අඛණ්ඩ හා තිරසාර නව හඳුන්වාදීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාවය, කැප වූ නම්‍යශීලි සේවාව සහ පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන සම්බන්ධයෙන් නිරන්තර ඇගයුමට පාත්‍ර විය.

එහි ජාත්‍යන්තර ජාලය ඔස්සේ A&E සමාගමෙහි නිෂ්පාදන කටයුතු රටවල් 23 ක සිදු කෙරෙන අතර රටවල් 50 ක පිහිටි බෙදාහැරීම් මධ්‍යස්ථාන ඔස්සේ එහි නිෂ්පාදන රටවල් 100 කට අධික සංඛ්‍යාවක අලෙවි කෙරේ.

වසර 35ක කාලයක් පුරා CGS සමාගම ව්‍යාපාරික යෙදවුම්, ව්‍යවසාය ඉගෙනුම් සහ බාහිර සේවා හරහා ගෝලීය ව්‍යවසාය, කලාපීය සමාගම් සහ රාජ්‍ය ආයතනවල කාර්යසාධනය කැපී පෙනෙන ලෙස වැඩිදියුණු කිරීම සඳහා සිය දායකත්වය ලබා දී ඇත. සේවාලාභීන්ගේ විවිධ වූ අවශ්‍යතාවලට අනුකූලවන ලෙස ඔවුන්ගේ මූලික ව්‍යාපාරික කටයුතු සඳහා සහයෝගය ලබා දීමට සමත් පරිපූර්ණ විසඳුම් නිර්මාණය කිරීම CGS සමාගමේ මූලික ඉලක්කයයි. එම සමාගමේ ප්‍රධාන කාර්යාලය නිව් යෝර්ක් නගරයේ පිහිටා ඇති අතර, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු කලාපවල ද එහි කාර්යාල පිහිටා ඇත. වැඩිදුර විස්තර සඳහා www.cgsinc.com වෙත පිවිසෙන්න.