තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්නෙන් කිසිදු බලපෑමක් නැහැ – ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා

    September, 3, 2020

    අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට නාවික සැතපුම් 38ක් පමණ ඈතින් ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව, ඉන්දියාවේ IOC සමාගමේ පිරිපහදු වෙත කුවේටයේ සිට බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබුණු නෞකාවක් බව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි. මෙම නෞකාවට ශ්‍රී ලංකාවේ සිය සමාගමේ සැපයුම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් සම්බන්ධතාවයක් නොමැති බව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා, අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අවධාරණය කර සිටියේය.

    “මෙය කුවේටයේ Mina Al Ahmadi සිට ඉන්දියාවේ Paradip වරාය දක්වා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් වෙනුවෙන් පිරිපහදු කිරීම සඳහා බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබුණු නෞකාවක්. නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව එක්ව මෙම ගින්න පාලනය සඳහා සුවිශේෂී මැදිහත්වීමක් සිදුකළා. ඔවුන් ඒ වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනවා. අද සවස වන විට ඉන්දියානු වෙරළාරක්ෂක යාත්‍රාවක් ද ඒ වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදුවෙලා නැහැ. මෙම නෞකාව සහ ශ්‍රී ලංකාවේ සැපයුම් සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධතාවයක් නැහැ“, යනනුවෙන් ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ දී මෙම නෞකාවේ බොරතෙල් බැරල් මිලියන 2 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි බව වාර්තා වේ.