‘දිරිය’ – කොවිඩ්-19 සටනේ විරුවන් වෙනුවන් වූ ADA ප්‍රණාමය

    July, 6, 2020

    රුපියල් මිලියන 0.5 පරිත්යාගයක් වෙනුවෙන් වාර්තාගත දැවැන්ත අන්තර්ජාල සහභාගීත්වයක්.

    අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ජාතික වීරයන් ලෙස සලකන මෙවන් මොහොතක ඔවුන්ට උපහාරයක්  වනු වස්, ADA ශ්‍රී ලංකා ආයතනය විසින් තරමක් වෙනස් ආකාරයක වැඩසටහනකට පෙළ ගැසුනා. සිය ආයතනයේ කාර්‍යමණ්ඩලයේ පරිත්‍යාගයෙන් ගොඩනැගුනු රු. මිලියන 0.5ක අරමුදල වටා බිහිවූ නව්‍ය සංකල්පයක් හරහා ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ සහභාගීත්වය ලබාගැනීමට ඔවුන් විසින් මේ කාලයේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ මාධ්‍යය යොදාගත්තා.

    "කණ්ඩායමක් විදියට හැකි උපරිමයෙන් කොවිඩ්-19 වසංගතය හා සටන් වදින අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරුවන්ට සහයෝගයක් වීමට අපට දැඩි අවශ්‍යතාවයක් තිබුණා. මේ වෙනුවෙන් ආයතනය තුල ආරම්භ කල ADAFORGOOD අරමුදල සඳහා කෙටි කාලයක් ඇතුලතම රු. මිලියන 0.5ක මුදලක් එකතු කර ගැනීමට අපට හැකියාව ලැබුනු අතරම විවිධ ඩිජිටල් මාධ්‍යයන් හරහා සම්බන්ධ කරගත් පිරිසක් තුළින් මෙම අරමුදලට වඩාත් වැඩි අර්ථයක් සහ වටිනාකමක් එක් කිරීම අපේ අරමුණ වුනා." ADA ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රෝසි ලක්සානා පැවසුවා.

    නිසි අධ්‍යයනයකින් පසු ADA ආයතනය විසින් මෙම පරිත්‍යාගය සඳහා දැනට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මූලික රෝහල් හයට අයත්, එසේම මෙම රෝගයෙන් පීඩාවට පත් බහුතර නාවික හමුදා සෙබළුන්ට ප්‍රතිකාර කරන  නැගෙනහිර කොළඹ මූලික රෝහල (CEBH) තෝරාගත්තා. මෙම ප්‍රතිකාර කිරීම් වලදී යොදා ගන්නා මුඛ ආවරණ, අත් ආවරණ සහ ආරක්ෂක කණ්නාඩි ඇතුලු පුද්ගල ආරක්ෂණ උපකරණ වල දැඩි අවශ්‍යතාවයක් මෙම රෝහලට තිබෙනවා.

    සිය අදහස් දැක්වූ ADA ශ්‍රී ලංකා ආයතනයේ පාරිභෝගික මෙහෙයුම් අධ්‍යක්ෂ, සන්ජිනි මුණවීර පැවසුයේ, "ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් විදියට මෙම මාධ්‍යයන් හරහා කොතරම් විශාල පිරිසකට ළඟා වියහැකිද යන්නත් එහි ඇති ප්‍රභලත්වය ගැනත් අපට හොඳ අවබෝධයක් තිබෙනවා. එනිසාම අපේ විරුවන්ට දිරියක් සහ සවියක් වීමේ පණිවිඩය මෙම මාධ්‍යය හරහා ගෙනයෑමේ වගකීම අපි භාරගත්තා. අපගේ ඩිජිටල්, ඩේටා සහ නිර්මාණ මෙහෙයුම් අංශ වල නිපුණත්වයෙන් යුත් පිරිසකගේ අදහස් මඟින් විශේෂයෙන්ම මේ කාලය තුළ බොහෝ දෙනා භාවිතා කරන online මාධ්‍යයන් හරහා මෙම පණිවිඩය ප්‍රචලිත කල හැකි ආකාරය අප හඳුනාගත්තා."

    ADA ආයතනයේ දියුණු දත්ත විශ්ලේෂණයන් හරහා ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වුනේ, මාධ්‍ය භාවිතය ගැන සැලකීමේදී online වීඩියෝ සහ music streaming යන සේවාවන් ඉදිරියෙන්ම සිටින බවයි. මෙකී තොරතුරු පදනම් කරගෙන ADA ආයතනය විසින් අපේ රටේ කොවිඩ් වසංගතය හා සටන් වදින විරුවන් වෙනුවෙන් 'දිරිය' නමින් ගීතමය උපහාරයක් දියත් කළා. මෙහි ගේය පදරචනය මාලිනී ලියනගේ සහ ලකී ලක්මිණ විසින් සිදු කල අතර හිරුෂි ජයසේන, පියත් රාජපක්ෂ සහ ටෙහානි ඉමාරා යන තරුණ ගායන ශිල්පීන් ගේ හඬින් මෙම ගීතය ජීවය ලැබුවා. Dice Lanka (Pvt) Ltd, Digital Content (Pvt) Ltd සහ Redfox Productions හි පසන් ලියනගේ යන අයගේ සහයෝගීත්වයෙන් මෙහි ගීතමය වීඩියෝ නිර්මාණය සිදු වුනා.

    “අපේ රටේ තරුණ පරපුරට ගැළපෙන ලෙස මේ ගීතයේ අන්තර්ගතය නිර්මාණය කිරීම ඉතා වැදගත් වුනා. ඒ නිසාම මේ කාර්යයට අපි හැකියාවන්ගෙන් පිරුණු තරුණ කණ්ඩායමක් එක් කරගත්තා. එසේම ADA ආයතනයේ ඇති විශේෂඥ දැනුම භාවිතා කර බලාපොරොත්තු නොවූ තරම් සහභාගීත්වයක් ලබාගැනීමට පුළුවන් උනා ." DICE Lanka (Pvt) Ltd හි සම නිර්මාතෘ/ අධ්‍යක්ෂ, ෆාමි උවෙයිස් එසේ අදහස් එක් කළා.

    මෙම වැඩසටහනට ජනතා සහභාගිත්වය ලබාගැනීම සඳහා, මෙම ගීතය සිය කටහඬින් ගායනා කර #ADAFORGOOD සඳහන් කර වීඩියෝවක් upload කරන ලෙස ආරාධනා කල අතර, එවන් සෑම නිර්මාණයක් සඳහාම ADA ආයතනය විසින් සිය අරමුදලින් රු.5000ක මුදලක් එම නිර්මාණයන් කල පුද්ගලයන්ගේ නමින් වෙන්කළා. මේ හරහා මුල්‍යම වශයෙන් දායකත්වයක් ලබාදීමට නොහැකි කෙනෙකුට පවා සිය හැකියාව හරහා අපේ විරුවන්ට දිරියක් වීමට අවස්ථාව උදා වුනා. දින කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුලත රු. මිලියන 0.5ක වටිනාකමකට සම කරමින් නිර්මාණ 100ක් මෙම වැඩසටහන සඳහා ලැබුනා. YouTube, Facebook සහ TikTok වැනි මාධ්‍යයන් ඔස්සේ ලැබුණු මෙම නිර්මාණ සඳහා මේ වන විට ලක්ෂ 5ක් ඉක්මවූ නැරඹුම් සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. එසේම ADA ආයතනයේ සාමාජිකයන් ඇතුළුව 30කට ආසන්න තරුණ නිර්මාණකරුවන්ගේ සහයෝගිත්වය මෙම වැඩසටහනට ලැබුනා.

    “වඩාත්ම ගැළපෙන මාධ්‍යයන් හරහා නිවැරදිම ග්‍රාහක පිරිස හා සම්බන්ධ වීම, 'දිරිය' වැඩසටහනේ ඉමහත් සාර්ථකත්වයට හේතුවක් වුනා. සිය හැකියාවන් හා කාලය වැය කරමින් මෙම කාර්යය සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම සුභ පැතීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. අපිට අපි අවශ්‍යම වුනු මෙවන් මොහොතක අපේම සම්පත් යොදාගෙන සුවිශේෂී මෙහෙයක් ලබාදීමට 'දිරිය' වැඩසටහන හරහා හැකියාව ලැබුණු බව අප විශ්වාස කරනවා", ලක්සාන මහත්මිය මෙසේ පැහැදිලි කළා.

    අති සාර්ථක වූ 'දිරිය' වැඩසටහන වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදුන් සියලුම දෙනාට ස්තූතිය පුද කිරීමට, එම සියලුම නිර්මාණ එක් කොට ADA ආයතනය විසින් කරන ලද නිර්මාණාත්මක වීඩියෝව adaasia.lk Instagram පිටුව හරහා දැන් ඔබට රස විඳිය හැක.

     

    Photo Caption: 2020 ජූනි 12 වැනි දා CEBH මුල්ලේරියාව රෝහල වෙත පරිත්යාගයන් පිරිනමන ලදී.

    වමේ සිට දකුණට: වෛද්‍ය මුදිතා පෙරේරා- නියෝජ්‍ය අධ්‍යක්ෂ, CEBH මුල්ලේරියාව, රුස්නි ඉසාත් මහතා - අධ්‍යක්ෂ, Reach, ADA ශ්‍රී ලංකා, ජනිත් ගමගේ මහතා- ව්‍යාපෘති කළමණාකාර, ADA ශ්‍රී ලංකා, ඉරේෂා විජයසිරි මහත්මිය - මානව සම්පත් ප්‍රධානී, ADA ශ්‍රී ලංකා,  ෆාමි උවෙයිස්- සම නිර්මාතෘ/අධ්‍යක්ෂ DICE Lanka(Pvt)Ltd .