දෙස් විදෙස් සංචාරකයින්ගෙන් සීගිරිය පිරී ඉතිරෙයි

August, 13, 2019

ලොව වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන සීගිරිය, පසුගිය සති අන්තයේ දී දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පැවති බව එහි කළ සංචාරකයක දී Ada Derana Biz අපට දැක ගත හැකි විය. පාසැල් නිවාඩු කාලය හේතුවෙන් මෙන්ම ඊයේ (12) දිනය රජයේ නිවාඩු දිනයක් වීම නිසාත්, දේශීය සංචාරකයින් රැසක් මෙම සති අන්තයේ දී සීගිරිය හා දඹුල්ල ප්‍රදේශවල වැඩිවශයෙන් දැකගත හැකිවිය.

එමෙන්ම විදේස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් ද මෙම ප්‍රදේශයන් හි දකින්නට ලැබීම, යළිත් වරක් මෙරට සංචාරක කර්මාන්තය යහපත් අතට හැරෙමින් පවතින බවට සාක්ෂි දරනු ඇත.

තවද සීගිරිය දඹුල්ල ප්‍රදේශ මෙන්ම ඒ අවට පිහිටි ප්‍රමුඛ පෙළේ හෝටල් සියල්ලක්ම පාහේ ගෙවී ගිය සතිඅන්තයේ දී අමුත්තන්ගෙන් පිරී පැවති බව වාර්තා වේ. හෝටල්වල මිල ගණන් පහත හෙළීමට හෝටල්කරුවන් කටයුතු කිරීමත්, තවත් හෝටල් මෙරට වාණිජ බැංකු සමඟ සම්බන්ධ වී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සුවිශාල වට්ටම් ලබා දීමත් හේතුකර ගෙන දේශීය සංචාරකයින් මෙලෙස විශාල වශයෙන් එම පහසුකම් භුක්තු විඳීමට කටුයුතු කර තිබුණි.

මේ අතර සීගිරිය නැරඹීම සඳහා අතිවිශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් පසුගිය සති අන්තයේදී එහි අධික තදබදයක් නිර්මාණය වී තිබුණු අයුරු අපට නිරීක්ණය කළ හැකිවිය. සීගිරිය පර්වත පාමුල සිට සිංහ පාදය දක්වාත්, එතැන් සිට පර්වතය මුදුන දත්වාත් මෙම තදබදය එක ලෙස දැක ගත හැකි වූ අතර ඒ හේතුවෙන් පැය ගණනාවක් පොළීම්වල රැඳී සිටීමට සංචාරකයින්ට සිදුවිය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එලෙස සීගිරිය පර්වතය තරණය කිරීම සඳහා පෝළිම් ගැසී සිටි දෙස් විදෙස් සංචාරකයින්ගෙන් කොටසකි.