නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට

    June, 16, 2020

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 මැයි මාසයේ දී සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් 49.3ක අගයක් වාර්තා කළේය. මෙය අප්‍රේල් මාසයෙහි වාර්තා වූ සමීක්ෂණය ආරම්භයේ සිට මෙතෙක් පැවති අවම අගය වන 24.2ට සාපේක්ෂ ව දර්ශකාංක 25.1ක ඉහළ යෑමකි. සංචරණ සඳහා පනවා තිබූ නීති ක්‍රමයෙන් ලිහිල් කිරීම, නිෂ්පාදන අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් යථාවත් වීම කෙරෙහි ප්‍රධාන ලෙස දායක විය.

    විශේෂයෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ නිෂ්පාදිත පරිමාවේ සිදු වූ සැලකිය යුතු ඉහළ යෑම පිළිබිඹු කරමින්, නිෂ්පාදන උප දර්ශකය, 2020 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ 3.5ක අගයට සාපේක්ෂ ව, 2020 මැයි මාසයේ දී 51.1ක ඉහළ අගයක් වාර්තා කළේ ය. තව ද, නව ඇණවුම්, තොග මිලදී ගැනුම් හා සේවා නියුක්ති උප දර්ශක ද 2020 මැයි මාසය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වූ නමුත් තවදුරටත් කඩයිම් මට්ටමට වඩා පහළ අගයක පැවතුණි. මේ අතර, සැපයුම් දාමයේ පැවති අවහිරතා ක්‍රමයෙන් සමනය වන බවට පිළිබිඹු කරමින් මෙම කාල සීමාව තුළ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය අඩු වේගයකින් ඉහළ ගියේය.

    රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ සහ රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන අංශයේ ඇතැම් ප්‍රතිචාර දැක්වූවන් අවධාරණය කළේ තම නිත්‍ය නිෂ්පාදන සඳහා මෙතෙක් ඇණවුම් ලැබී නොමැති බැවින් ඔවුන් එයට විකල්පයක් ලෙස සෞඛ්‍ය ආරක්ෂාව හා සම්බන්ධ නිෂ්පාදන නිපදවීම කෙරෙහි යොමුවී ඇති බවයි.

    COVID-19 වසංගතය හේතුවෙන් පාරිභෝගික ඉල්ලුම කෙරෙහි තවදුරටත් පවතින අහිතකර බලපෑම් පිළිබඳ ප්‍රතිචාර දක්වන්නන් සැලකිලිමත් වුවද නිෂ්පාදන ක්‍රියාකාරකම් පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් පසුගිය මාසයට සාපේක්ෂව සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කරයි.