නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වසර 4ක් තුළ ඉහළම තැනට පැමිණෙයි

    April, 18, 2025

    වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය.

    විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශ තුළ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනය, සමස්ත දර්ශකයේ වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙනු ලැබීය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට අනුකූලව, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් මාසය තුල දී වර්ධනයක් වාර්තා කළේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාර්තු මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.

    ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතී. කෙසේ වෙතත්, විශේෂයෙන්ම, අපනයන නිෂ්පාදන කර්මාන්ත ඇතුළුව බොහෝ ආයතන, ගෝලීය වෙළඳාම් කටයුතු තුළ වර්ධනය වන අවිනිශ්චිත තත්ත්ව පිළිබඳව සැලකිලිමත්ව පසුවෙයි.

     

    සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් 2025 මාර්තු මාසයේ දී 69.8ක අගයක් වාර්තා කළේය.

    ව්‍යාපාර ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම සඳහා බොහෝ අංශවල සිදු වූ වර්ධනයන් හේතු විය. ඒ අනුව, තොග සහ සිල්ලර වෙළඳාම හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් උත්සව සමයේ පවතින ඉල්ලුම හේතුවෙන් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.  තවද, ණය දීම් ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය විය. මීට අමතරව, වෘත්තීය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, සහ රක්ෂණ හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ද මාර්තු මාසය තුළ ඉහළ යෑම් පෙන්නුම් කළේය.

    ප්‍රධාන වශයෙන්, මූල්‍ය සේවා, තොග සහ සිල්ලර වෙළඳාම, අනෙකුත් පෞද්ගලික සේවා, රක්ෂණ, සහ නවාතැන් හා ආහාරපාන සැපයීම ආශ්‍රිත කටයුතුවල සිදු වූ වර්ධනයන් සමඟ, 2025 මාර්තු මාසයේ දී නව ව්‍යාපාරවල ඉහළ යෑමක් දක්නට ලැබුණි.

    උත්සව සමය පාදක කොටගෙන බොහෝ සමාගම් සිදුකල නව බඳවා ගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය අඛණ්ඩව ඉහළ ගියේය. මේ අතර, නිම කිරීමට නියමිත කාර්යයන් 2025 මාර්තු මාසයේ දී අඛණ්ඩව පහළ ගිය නමුත්, එය අඩු වේගයකින් සිදු විය.

    ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා වූ අපේක්ෂාවන්, 2025 මාර්තු මාසයේ දී අඛණ්ඩව ඉහළ ගිය නමුත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද ආනයන තීරුබදු සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතතාවයන් හේතුවෙන් එය අඩු වේගයකින් සිදු විය.