නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ATM ජාලයට ස්මාර්ට් විශේෂාංග පෙළක් එක්කරයි

    March, 15, 2021

    ශ්‍රී ලංකාවේ නවෝත්පාදන බැංකුකරණයේ පුරෝගාමියා වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හා මුදල් තැන්පතු හා ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) සඳහා ලංකාවේ ප්‍රථමවරට විප්ලවීය විශේෂාංග කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව තමන් නිතරම සිදු කරන ගනුදෙනු පිළිබඳ විස්තර ඇතුලත් කර තිබීම මෙන්ම, මුදල් ආපසු ගැනීමේදී තමන්ට අවශ්‍ය මුදල් නෝට්ටු මිශ්‍රණය තෝරා ගැනීමේ අවස්ථාව ද නේෂන්ස් ට්‍රස්ට් ගනුදෙනුකරුවන්ට හිමිව තිබේ.

    ඒ අනුව මුදල් ආපසු ගැනීම, බිල්පත් ගෙවීම් හා මුදල් හුවමාරු කරගැනීම ආදී නිතර සිදුකරන බැංකු කටයුතු නවතම Favourites විශේෂාංගය වෙත එක් කිරීමටත්, ඒ හරහා බිල්පත් ගෙවීමට අදාළ ආයතනය, මුදල් ප්‍රමාණය ආදි විස්තර ගබඩා කිරීමටත්, ATM හරහා ඒවා අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත් අවස්ථාව සැලසේ. එය ගනුදෙනුකරුවන්ගේ කාලය ඉතිරි කරමින් විශාල පහසුවක් සලසයි.

    මේ අතර නව විශේෂාංග පෙළ හරහා, රුපියල් 500කට වැඩි මුදලක් ATM හෝ CRM මගින් ලබාගැනීමේදී තමන්ට අවශ්‍ය මුදල් නෝට්ටු මිශ්‍රණය තෝරා ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන්ට ලබාදී තිබේ. එම නිසා මුදල් මාරු කරගැනීමට වෙළෙඳසැල් වෙත යාමේ අවශ්‍යතාවක් ඇති නොවන අතර, මෙමගින් සමාජ දුරස්ථභාවය මනා ලෙස පවත්වා ගැනීමට හැකියාව ලැබේ. ඊට අමතරව මෙම වැඩිදියුණු කල විශේෂාංග හරහා දිනපතා මුදල් ආපසු ගැනීමේ ශේෂය සහ සීමාව දැනගැනීමේ හැකියාව ද ගනුදෙනුකරුවන්ට හිමිවන තවත් පහසුකමකි.

    “අපගේ සෑම සේවාවකදී ම උපරිම පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කැපවී සිටිනවා. අපගේ ගනුදෙනුකරුවන් බොහෝ විට ATM හා CRM සමඟ ගනුදෙනු කරන නිසා, ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින් හා ඔවුන්ගේ කාලය ඉතිරි කරමින්, වැඩි පහසුවක් සැලසීමට මේ හරහා හැකිවෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට, ඔවුන්ගේ බැංකු කටයුතු පහසු කරවන සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව හැඩගැහෙන බැංකු සේවාවක් අවශ්‍ය බවත් අපි හොඳින් හඳුනාගෙන සිටිනවා. මේ ආකාරයට අපගේ සියලු ම ක්‍රියාකාරකම් පාරිභෝගිකයින් මුල් කරගනිමින් සිදුවෙනවා“, යනුවෙන් මෙම නවතම විශේෂාංග පිළිබඳ අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා පැවසීය.

    Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලකාව තුළ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක්  විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

    සේයාරුව : නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා, නේෂන්ස් ට්‍රස්ට් ප්‍රධාන කාර්යාලයේ පිහිටි ස්මාර්ට් විශේෂාංග ඇතුලත් කරන ලද ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා විශේෂාංග නිල වශයෙන් එළිදැක්වූ මොහොත