නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    April, 2, 2021

    ඩොලරයේ අගය රු. 200 ඉක්මවා යාම පිළිබඳව රජය විසින් සැලකිලිමත් වී ඇති බවත් මෙය තාවකාලික සිද්ධියක් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (02) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලබන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “රුපියල සහ ඩොලරය අතර හුවමාරු අගයයන් තීරණය වන්නේ අපේ රට විදේශ අංශය අපි කළමනාකරණය කිරීමේ තත්ත්වය අනුව. රුපියලේ අගය පවත්වා ගැනීමට මූලික සාධකයක් තමයි රටේ තියෙන සංචිත ප්‍රමාණය. 2014 දී අපේ රටේ තිබුණා සංචිත හැටියට ඩොලර් බිලියන 8.2 ක්. අපි ඒ කාලේ පුරෝකථනය කෙරුවේ 2019 අග වෙන කොට ඩොලර් බිලියන 15 දක්වා අපට  වැඩිකර ගන්න පුළුවන් වේවි කියලා. ඒ වුණාට 2019 වෙනකොට අපිට ඩොලර් බිලියන 8.2ක් වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තිබුණේ 7.4 ක් පමණයි. ඉතිං ඒ නිසා 15 ක් තිබෙන්න තිබුණු තැනක අපිට ලැබුණේ 7.4 ක්. මෙතන දී යථා තත්ත්වය ඒකයි. අපි භාර ගත්ත තත්ත්වය ඒකයි. අපිට අවකාශයක් තිබුණේ නැහැ, මේ රුපියල පාලනය කර ගැනීමටවත්, මේ තත්ත්වයට මුහුණ දෙන්නටවත්. ඒ වුණත් අපි මුහුණ දීලා තියෙනවා.“

    “අපි දැක්කා 2020 තුළ දී බොහෝ දෙනෙක් හිතුවා රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වෙයි කියලා. ඒ වුණාට රුපියල අවප්‍රමාණය වුණේ සියයට 2.8ක් පමණයි. ඒ වුණත් මේ වසරේ දී (ඩොලරය) රු. 200 ඉක්මවා යාම ගැන අපි සැලකිලිමත් වෙලා තියෙනවා. අපි දැන් අපේ සංචිත වැඩිකර ගැනීම සඳහා ක්‍රමවේද රාශියක් අනුගමනය කරනවා. ඒ තත්ත්වයට අපි මුහුණ දෙද්දී රුපියල යම් ආකාරයක වැඩිපුර පීඩනයකට ගොදුරු වෙලා තිබෙනවා. අපි ඒක දන්නවා. ඒ වුණත් අපි නොබෝ දවසකින් නැවත වරක් රුපියල ශක්තිමත් කිරීමට අපිට කටයුතු කරන්න පුළුවන් වේවි කියන එක තමයි අපේ විශ්වාසය. අපි එතනට යොමු වෙනවා. මෙය තාවකාලික සිද්ධියක්.“