නොසලකා හරින ලද සාගරයට උදව් අවශ්‍යම මොහොතයි

June, 28, 2021

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් මිලියන 1.59ක් වැරදි ලෙස පාලනය කිරීම හේතුවෙන් අවසාන ප‍්‍රතිඵලය ලෙස ඒවා සාගරයට එකතු වී ඇත. ඉන්දියානු සාගර සීමාවට අයත් රටවල් 12න් 7ක්ම සැලකිය යුතු ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් දුෂිත රටවල් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත්ය. මෑතකදී සිදු වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් (MV X-Press Pearl) නෞකාවේ තිබූ බහාලූම් පිපිරීමෙන් සමුද්‍ර දුෂණය පිළිබඳ ගැටලූව තවදුරටත් උග‍්‍ර වී තිබේ.

ලෝක සාගර දිනය ජුනි මාසයේ සමරනු ලැබුවද මෙම ඛේදවාචකය ශ්‍රී ලංකාව සිය තිරසාර අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යන ගමන දරුණු පසුබෑමකට ලක් කිරීමට සමත්ව තිබේ. මේ හේතුවෙන් වගකිව යුතු ලෙස ප්ලාස්ටික් පරිභෝජනය ප‍්‍රවර්ධනය හා බැහැර කිරීම මේ වන විට ඉතා අසීරු කටයුත්තක් වී තිබේ.

ධීවර කර්මාන්තයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වීම

බහුදින ධීවර යාත‍්‍රා 4900ත් 5000ත් අතර සංඛ්‍යාවක් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යටතේ දැනට ලියාපදිංචි වී සිටී. බහුදින ධීවර යාත‍්‍රාවලට ආසන්න වශයෙන් ප්ලාස්ටික් බෝතල් 300-400ත් අතර ප‍්‍රමාණයක් රැගෙන යා හැකිය. මෙහිදී එක් පුද්ගලයෙක් සාමාන්‍යයෙන් බෝතල් 15ක් පමණ පරිභෝජනය කරනු ලබන අතර එයින් ලීටර 5 බෝතල් බහුල වශයෙන් පරිභෝජනය කරනු ලබයි.

‘‘1900 ගණන්වල මෙම මුහුදු යාත‍්‍රාවල පානය කිරීමට හා අල්ලා ගන්නා ලද මසුන් පිරිසිදු කිරීමට අවශ්‍ය ජලය ගෙන යා හැකි ටැංකි තිබුණා. අලූත් බෝට්ටුවලද මෙම පහසුකම තිබෙන නමුත් මෙහි ඇති පහසුව නිසා ධීවරයින් මුහුදු යාමේදී ප්ලාස්ටික් බෝතල්වල වතුර ගෙන යාමට වඩාත් කැමතියි. 2000 දී මෙය ප‍්‍රවණතාවක් බවට පත් වුණා.’’ යනුවෙන් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී එම්. ජනක ප‍්‍රසන්න මහතා සඳහන් කළේය.

සාගරයේ ඇති ප්ලාස්ටික් බෝතල්වල අහිතකර බලපෑම හේතුවෙන් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්මේන්තුව එක්ව මුහුදට ගෙන යනු ලබන සෑම බෝතලයක් පිළිබඳව තොරතුරු සටහන් කරනු ගනු ලබයි. ධීවරයින් විසින් මුහුදට ගෙන යනු ලබන සෑම බෝතලයක්ම නැවත ලබා දිය යුතුය. නැතහොත් ඔවුන්ට නැවතත් මුහුදු යෑම තහනම් වනු ඇත.

ප්ලාස්ටික් බැහැර කිරීමේ ප‍්‍රයත්නයන් ප‍්‍රවර්ධනය කිරීමට නැවත යොමු වීම සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට ධීවර කර්මාන්තය තුළ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. මීට අමතරව ඉකෝ ස්පින්ඞ්ලස් (ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම) මෙරට කොකා-කෝලා සමාගම සමඟ එක්ව ප්ලාස්ටික් බෝතල් 10,000 සිට 15,000ක් දක්වා සංඛ්‍යාවක් ගබඩා කර තැබීමට හැකි බඳුන් හා එකතු කිරීමේ ස්ථාන ද ස්ථාපිත කර ඇත.

‘‘අප දැඩි පියවර ගෙන ඇති නිසා වරායවලින් පිටත්වන ධීවරයින්ගෙන් සාගර දුෂණය වීම 75%ක අඩු වීමක් තිබෙනවා. ඒ වගේම මේ සඳහා අපට සැමදෙනාගේම සහයෝගය අවශ්‍යයි. මිනිසුන් තල්මසුන් නැරඹීම හෝ බෝට්ටු සංචාර, හෝ බෝට්ටු නවතා ඇති ස්ථානවලින් මාළු ඇල්ලීම වැනි විනෝදාත්මක ක‍්‍රියාකාරකම්වල නිරත වේ යැයි සිතමු. එසේ කරන්නේ නම් ඔබ විසින් ගෙන යනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවත රැගෙන ආ යුතු වන අතර නිවැරදි බඳුන්වලට එම අපද්‍රව්‍ය බැහැර කළ යුතුය.’’ යනුවෙන් එම්. ජනක ප‍්‍රසන්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

සාගරය සංරක්ෂණය කිරීමට එක්වන ලෙස ඉල්ලීමක්

6 වන ජාත්‍යන්තර සමුද්‍ර සුන්බුන් සමුළුවේදී ඉදිරිපත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරයට ගසාගෙන එන අපද්‍රව්‍යවලින් 93%ක්ම ප්ලාස්ටික් ද්‍රව්‍ය බවයි. නගරවලට, ගංගාවලට ආසන්නයේ ඇති මුහුදු තීරයන්වල ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩි වශයෙන් එකතු වීම දක්නට හැකියි.

‘‘විශේෂයෙන්ම දරුණු දේශගුණික තත්වයන්හිදී කලාපීය රටවල්වලින් බැහැර කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපගේ වෙරළ තීරවලට ගසා ගෙන එනවා. මෝසම් රටාව අනුව නැගෙනහිර හා බටහිර ප‍්‍රදේශවලට මෙම තත්වය වඩාත් දරුණු ලෙස බලපානවා.’’ යනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ, Green & Blue Domain Dockyard ව්‍යාපෘතියේ හිටපු සම්බන්ධීකාරක, ලූතිනන් කමාන්ඩර් කසුන් නුවරපක්ෂ මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සාගරික සංරක්ෂණ අධීක්ෂණ ඒකකය විසින් එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කරමින් පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් නිෂ්පාදනය කිරීම සඳහා ඉකෝ ස්පින්ඞ්ල්ස් වෙත ප‍්‍රවාහනය කරනු ලැබේ. ප‍්‍රවාහනයට පෙර එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්පීඩනය කිරීම සඳහා ත‍්‍රිකුණාමලයේ නැව් අංගනය, කල්පිටිය සහ මන්නාරම යන නාවික කඳවුරුවල ඉකෝ ස්පින්ඞ්ල්ස් විසින් සම්පීඩන යන්ත‍්‍ර සවි කර ඇත.

මිනිසුන් සහ ව්‍යාපාරික සමාගම් වගකීම් විරහිතව ප්ලාස්ටික් බැහැර කිරීම අඛණ්ඩව සිදු කළහොත් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සාගරය ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් ගනු ලැබූ ප‍්‍රයත්නයන් ව්‍යර්ථ වනු ඇත. සමුද්‍ර ජීවීන් සහ සාගරය ආරක්ෂා කිරීමට උපකාරී වන සංරක්ෂණ ව්‍යාපෘති පිහිටු වීම හෝ ඒවාට සහයෝගය දැක්වීම සඳහා එවැනි ආයතනවල අවශ්‍යතාවයක් මේ වන විට මතු වෙමින් පවතී.

 

ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට නව අර්ථයක් දීම

මුහුදු තීරයෙන්, එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් හා සාගරයෙන් එකතු කරන ලද ප්ලාස්ටික් බෝතල් හොරණ පිහිටි ඉකෝ ස්පින්ඞ්ල්ස් ප‍්‍රතිචක‍්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබේ. මෙම පහසුකම මගින් මසකට PET ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය ආසන්න වශයෙන් 7,500,000-9,000,000 ක් පමණ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබයි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙම පහසුකම වෙත රැගෙන ආ පසු, ඒවා වර්ණය හා ප්ලාස්ටික් වර්ගය අනුව වර්ග කර, සම්පීඩනය කර බෝතල් මූඩි සහ ලේබල් ඉවත් කිරීම සඳහා සෝදන  යන්ත‍්‍රයට යවනු ලබන අතර එහිදී ඒවා PET කැබලි බවට පත් කරනු ලැබේ.

’‘ප්ලාස්ටික් කැබලි බවට පත් වූ පසු අප එය කාණ්ඩ දෙකකට වෙන් කරනවා. එක් කාණ්ඩයක් වන්නේ ‘Premium Grade’ ය. එය නූල් නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන උසස්ම තත්වයේ ප්ලාස්ටික් කැබලි වන අතර අනෙක් කාණ්ඩය මොනෆිලමන්ට් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබනවා.’’ යනුවෙන් Eco Spindles ප‍්‍රතිචක‍්‍රීයකරණ අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී, මනෝජ් උඩවත්ත මහතා පැවසුවේය. වෙරළ තීරයෙන් එකතු කරගන්නා ලද ප්ලාස්ටික්වලින් සාදනු ලබන නූල් භාවිතා කිරීමට ඇඟළුම් සමාගම් දැඩි කැමැත්තක් දක්වන්නේ එමගින් අපද්‍රව්‍ය ගැටලූව හා සාගරයට සිදුවන බලපෑම අවම කරන නිසාය. අපට Ecos Oceanic නමින් වෙරළ තීරයෙන් එකතු කරගන්නා ලද ප්ලාස්ටික් පොලියෙස්ටර් නූල් බවට පත් කර සාදන ලද නිෂ්පාදනයක් තිබෙනවා.’’ යනුවෙන් උඩවත්ත මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඉකෝ ස්පින්ඞ්ල්ස් වැනි ප‍්‍රතිචක‍්‍රීයකරණයේ නිරත දැවැන්ත සමාගම් ද තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් වෙරළ තීරයෙන් එකතු කර ගන්නා ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳව ගණනය කරනු ලබයි. ”අපගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් විසින් එකතු කරන ලද ප්ලාස්ටික් ප‍්‍රමාණය සොයා ගත හැකි යෙදවුමක් තිබෙනවා. සෑම වසරකම එකතු කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වුවහොත් එයින් අදහස් වන්නේ අප වඩ වඩාත් මුහුදු තීරයෙන් හා මුහුදෙන් අපද්‍රව්‍ය ඉවත් කර ගන්නා බවයි. පුරවැසියන් ලෙස සාගරයේ පිරිිසිදු බව ආරක්ෂා කිරීමට අප සැමවිටම උත්සාහ කළ යුතුයි.’’ යනුවෙන් උඩවත්ත මහතා පැවසුවේය.

Video Story

Stock Market

Exchange Rates