පරිසර ආරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇගැයීමට ලක්වෙයි

    January, 7, 2021

    දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් පියවර සහ පරිසර ආරක්ෂණය කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇගැයීමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික සම්බන්ධීකාරක රොබට් ජුක්හැම් මහතා සඳහන් කරයි. 2020 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මානව සංවර්ධන වාර්තාවේ පිටපතක් ඉකුත් 5 වන දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට බාර දෙමින් ජුක්හැම් මහතා මේ බව අනාවරණය කෙළේය. පළමු වාර්තාවෙන් පසු, ගත වූ වසර 30 ක කාලය තුළ දී රට ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද ජුක්හැම් මහතා ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළේය

    රාජ්‍ය ආයතන ගණනාවක් සමඟ කටයුතු කරමින්, විවිධ අංශයන්හි ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන ආධාර පිළිබඳව කෙටි විස්තරයක් ලබා දුන් ඔහු, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව යළි තහවුරු කළේය. ආසියානු සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රී ලංකාවේ නිරත වීමට අපේක්ෂිත “අන්තාර්ජාල දූත මෙහෙවරක්" (වර්චුවල් මිෂන්) පිළිබඳව ද සඳහන් කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වු විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පවත්නා සහයෝගීතාව අගය කළ අතර, කොවිඩ්-19 වසංගතය පිළිබඳ මුල් මැදිහත්වීම්වල දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් දැක්වූ ප්‍රතිචාරය ද අගය කළේය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇතුළු වෙනත් දේ රටේ මානව සංවර්ධන ජයග්‍රහණ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව එතුමා පැවසීය. සිය ආරම්භක කතාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි, තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා රජය දක්වන කැපවීම එතුමා අවධාරණය කළේය. ක්ෂුද්‍ර මූල්‍ය යෝජනා ක්‍රම සහ ඒ ආශ්‍රිත අවදානම් තත්ත්වයන්, ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ මිනිස් අලි ගැටුම් ඇතුළුව, ජනතාවට බලපාන ගැටළු රාශියක් පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කළේය. තිරසාර සංවර්ධන ඉලක්ක හා සම්බන්ධ ගැටළු මෙන්ම අනෙකුත් ගැටළු ද විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

    මානව සංවර්ධනයේ මට්ටම අනුව ලෝකයේ සියලුම රටවල් ශ්‍රේණිගත කරන මානව සංවර්ධන වාර්තාව (HDR) සහ එහි මානව සංවර්ධන දර්ශකය (HDI), සංවර්ධන අවකාශයේ ප්‍රබල හඬක් ලෙස පවතී. මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව ස්ථාවර ප්‍රගතියක් සහ සැලකිය යුතු අන්දමේ ජයග්‍රහණ ලබා ඇත. මෙරට ගෝලීය මානව සංවර්ධන දර්ශක ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පිහිටුවා තිබේ.