පාම් ඔයිල් තහංචි සමඟින් සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් පහළට

    April, 6, 2021

    දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) දින නිවේදනය කරන ලදී. මේ පසුබිම තුළ මෙරට පාම් ඔයිල් වගා කිරීමේ , නිෂ්පාදනයේ සහ විකිණීමේ නිරත ලැයිස්තුගත සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් අද (06) දිනයේ දී පහළ යන ස්වභාවයක් දක්නටු ලැබුණි.

    ඒ අනුව වටවල වැවිලි සමාගමේ කොටසක මිල රු. 53.00 ක් දක්වා 7.83% කින්, නමුණුකුල වැවිලි සමාගමේ කොටසක මිල රු. 166.00 දක්වා 8.92%% කින්, අගලවත්ත වැවිලි සමාගමේ කොටසක මිල රු. 27.20 දක්වා 2.86% කින්, හැටන් ප්ලාන්ටේෂන් සමාගමේ කොටසක මිල රු. 8.70 ක් දක්වා 2.25% කින්, ඇල්පිටිය වැවිලි සමාගමේ කොටසක මිල රු. 42.70 ක් දක්වා 3.17% කින් සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක මිල රු. 26.00 ක් දක්වා 3.70% කින් පහළ යන ලදී.

    මේ අතර ඊයේ දිනයේ දී වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දෙනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දෙනු ලැබීය. එම තීරණයේ ක්ෂණික බලපෑම ද යම්තාක් දුරකට අද (06) දින කොටස් වෙළෙඳපොළෙන් පිළිබිඹු විය.

    ඒ අනුව BUKIT DARAH PLC හි කොටසක මිල රු. 312.75 ක් දක්වා 5.16% කින් යන ලදී. BUKIT DARAH PLC යනු CARSON CUMBERBATCH PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වන අතර CARSON CUMBERBATCH සමූහයට අයත් SHALIMAR (MALAY) PLC, INDO-MALAY PLC හා GOOD HOPE PLC යනු මැලේසියාවේ පාම් ඔයිල් වතු අයත් ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් තුනකි.

    අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,280.27 ක් දක්වා ඒකක 62.44 කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.87% ක වර්ධනයක් වේ.