පිට පිටම 15 වන වසරටත් වෙළඳපොළ නායකත්වය අත්කර ගැනීම නිමිත්තෙන් සෙලින්කෝ ලයිෆ් වෙතින් ලේ දන්දීමේ කඳවුරු 15 ක්

August, 13, 2019

2019 වසරේ පිට පිටම 15 වසරක් වෙළඳපොළ නායකත්වය රඳවා ගැනීමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාව පුරා ස්ථාන 15 කදී ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.

සමාගම විසින් මෙම ලේ දන්දීමේ කඳවුරු වලට සහභාගි වීමට සිය සේවකයින්, ඔප්පුහිමියන්, සැපයුම්කරුවන්, පාර්ශවකරුවන් සහ අදාළ ප‍්‍රදේශවල වැසියන් ඇතුළු සියළුම දෙනාට ආරාධනා කර ඇත.

මෙම ලේ දන්දීමේ කඳවුරු මේ වන විට සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූලස්ථානයේ, මහනුවර, රත්නපුරය, අනුරාධපුරය, යාපනය සහ මඩකළපුව යන දිස්ත‍්‍රික්කවල පවත්වා තිබෙන අතර මාතර, හොරණ, ගම්පහ, හලාවත, මීගමුව, කුරුණෑගල, ගාල්ල, බණ්ඩාරවෙල සහ ත‍්‍රිකුණාමලය යන තවත් ස්ථාන නමයකදී පැවැත්වීමට නියමිතය. සමාගමේ පාර්ශවකරුවන්ට අමතරව අනිකුත් ආයතනවල සාමාජිකයින් සහ සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයින්ද මෙම ලේ දන්දීමේ කඳවුරු වෙත පැමිණ ලේ දන්දෙනු දකින්නට ලැබුණි.

සමාගම මෙම වැඩසටහන ජාතික රුධිර පාරවිලයන සේවාව (NBTS) සමග එක්ව සංවිධානය කර තිබෙන අතර මේ දක්වා 600 කට වැඩි පිරිසක් ලේ දන්දීම සඳහා මෙම කඳවුරු වෙත පැමිණ තිබේ.

විවිධ ප‍්‍රදේශවල තිබෙන මෙම ලේ දන්දීමේ කඳවුරුවල තොරතුරු සෙලින්කෝ ලයිෆ් සමාගමේ Facebook පිටුවේ යාවත්කාලීන කරන අතර මෙම පුණ්‍ය කර්මය සඳහා සම්බන්ධ වන්නැයි සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

වෛද්‍ය උපදෙස් වලට අනුව අවුරුදු 18-60 ත් අතර කිලෝ ග‍්‍රෑම් 50 ක් හෝ එයට වැඩි ඕනෑම තැනැත්තෙකුට ලේ දන්දිය හැකිවේ. රුධිර දායකයින් ඖෂධ භාවිතා කර නොසිටිය යුතු අතර පෙරදා රාත‍්‍රියේ හොඳ නින්දක් ලබාගෙන තිබිය යුතුය. එසේම, ඔවුන් ලේ දන්දීමට පෙර වෙහෙසකර ව්‍යායාම වලින්, දුම් පානයෙන්, මත්පැන් සහ කැෆේන් පානයෙන් ඈත්වී සිටිය යුතුය.

2019 වසරේදී පිට පිටම 15 වන වතාවටත් මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමේ ප‍්‍රීතිය සැමරීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම ලේ දන්දීමේ කඳවුරු වලට අමතරව වර්ග අඩි 500 ක ඇඳන් හතරකින් සමන්විත අධි සත්කාර ඒකකයක් රුපියල් මිලියන 11.5 ක් වැයකර මහනුවර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කළේය.

2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් 2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සම්මානයට පාත‍්‍රකර තිබේ. එසේම, සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ්, නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සමාගම මිනුම් ලකුණක් වේ.