පින්ලන්තයට සිහිනයක් වුවත් ශ්‍රී ලංකාවට සැබෑවක් වූ දෙයක් ගැන තානාපතිවරයා කියූ කතාව

    June, 14, 2018

    පින්ලන්ත වැසියන්ට සිහිනෙන් පමණක් දැකිය හැකි ස්වභාවික සම්පත් රැසක් ශ්‍රී ලංකාව තුළ ඇති බවත් පසුගිය වසර 10 ක කාලපරිච්ඡේදය තුළ දී ඉතා සීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවත් ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපති Harri Kämäräinen පවසයි. පසුගිය දා කොළඹ දී පැවති උත්සව අවස්ථාවක දී අද දෙරණ වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව පැවසීය.

    පින්ලන්තයේ ආර්ථික කටයුතු හා රැකීරක්ෂා නියෝජ්‍ය අමාත්‍ය Petri Peltonen මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් පසුගිය ජූනි 11-13 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදී ඩිජිටල්කරණය, සෞඛ්‍ය, අධ්‍යාපනය හා බලශක්ති යන ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5 කට අත්සන් තබන ලදී.

    මෙම අවස්වේ දී දී අද දෙරණ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපති Harri Kämäräinen මහතා මෙසේ කියා සිටියේය.

    “පසුගිය වසරේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පින්ලන්තයේ හෙල්සින්කි නුවරට පැමිණියා . ඔහු පැමිණියේ වැදගත් දූත කණ්ඩායමක් සමඟින්. එම සංචාරයේ දී ඔහු පින්ලන්ත අගමැතිවරයා සමඟ සාකච්ඡා පැවත්වූවා. එහිදී විශේෂ අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමුවුණා. ඩිජිටල් අංශය එයින් එකක්. අධ්‍යාපන හා බලශක්ති යන ක්ෂේත්‍ර සෙසු ඒවා.“

    “අපි මෙම ක්ෂේත්‍රයේ සිටින පින්ලන්ත සමාගම් 17 ක නියෝජිතයින් ශ්‍රී ලංකාවට රැගෙන ආවා. එහි යහපත් ප්‍රතිඵල අපිට දකින්න ලැබුණා. ශ්‍රී ලංකාව සහ පින්ලන්තය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම් මගින් ඒ බව මනාව පැහැදිලි වෙනවා.“

    “පසුගිය වසර 10 තුළ ඉතා වේගවත් සංවර්ධනයක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙලා තිබෙනවා අපිට දකින්නට ලැබුණා. මම කොළඹට පැමිණෙන සෑම වතාවකම නව ඉදිකිරීම් ව්‍යාපෘති දකින්න ලැබනෙවා. නගරය, රට ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා.“

    “මම විශ්වාස කරන දෙයක් තමයි ශ්‍රී ලංකාව ඉතා සුභදායී අනාගතයක් තියෙන රටක්. ඔබට වටිනා ස්වභාවික සම්පත් තිබෙනවා. මැණික් වැනි වටිනා ඛනිජමය සම්පත්. ඒ වගේම උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදිත ඔබට තිබෙනවා. මගේ රටේ ජනතාවට ඒවා ගැන සිහින දැකීම පමණයි කරන්න පුළුවන්. උසස් තත්ත්වයේ පළතුරු හා එළවළු ඔබට තිබෙනවා. ඒ වගේම ඔබගේ පේෂකර්මාන්තයත් ඉතා උසස් එකක්. “