පොරොන්දු වූ වාහන ලීසිං සහනය වහාම ක්‍රියාත්මක කරන්නැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලයි

    November, 27, 2017

    හයිබ්‍රිඩ් සහ විදුලි වාහන සඳහා ලීසිං පහසුකම් ලබාගැනීමේදී මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කළ සහනය පාරිභෝගිකයින්ට ලබාදීම ප්‍රමාද වී තිබෙන බවත් මෙවැනි වාහන මිලදීගැනීමට කටයුතු කරමින් සිටින පාරිභෝගිකයින්ට සහනයක් ලෙස එය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන ලෙසත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ මෙය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය විසින් ඒ පිළිබඳව මහ බැංකුවට දැනුම් දිය යුතු වුවත් තවමත් එම දැනුම්දීම සිදුකර නොමැති බවයි.

    මේ නිසා, මෙම සහනය පාරිභෝගිකයින්ට ලබාදීම ඉක්මන් කරන ලෙස හෙතෙම රජයෙන් ඉල්ලීමක් කළේය.

    “හයිබ්‍රිඩ් වාහන වලට ලබාගත හැකි ලීසිං ප්‍රමාණය මුදල් අමාත්‍යවරයා විසින් පසුගියදා 70% ක් දක්වා වැඩි කළා. විදුලි වාහන සඳහා 90% කළා. නමුත්, තවමත් මෙම සහනය ක්‍රියාත්මක වෙලා නෑ. මේකට හේතුව තමයි මෙම තීන්දුව එක තැනකින් ක්‍රියාත්මක නොවීම. මෙය මුදල් අමාත්‍යංශය විසින් මහ බැංකුවට දැන්විය යුතුයි. ඊට පස්සේ මහ බැංකුව විසින් බැංකු සහ මූල්‍යායතන වලට දන්වනවා. මේ විදිහට එක් තීන්දුවක් ක්‍රියාත්මක කරන්න, තැන් කිහිපයකට යන්න වුනහම එය අකාර්යක්ෂමයි. මෙයයි මෙම ප්‍රමාදයට හේතුව වෙලා තිබෙන්නේ. මේ වනවිට, බොහෝ පිරිසක් මෙම සහනය ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ නිසා, අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේක අද හෙටම ක්‍රියාත්මක කරන්න කියලයි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් පැවසීය.

    හයිබ්‍රිඩ් සහ විදුලි වාහන හැර අනිකුත් වාහන මිලදී ගැනීමේදී මේ වනවිට ලීසිං පහසුකම් ලබාගත හැක්කේ වාහනයේ වටිනාකමින් සියයට 50 ක් පමණි.