පොහොර හිඟය නිසා ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් විදේශ විනිමය ඉපැයීම් අහිමි වනු ඇත – වැවිලිකරුවන්ගේ සංගමය

October, 6, 2021

තේ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන සුදුසු පොහොර හිඟ වීම හේතුවෙන් කර්මාන්තය තුළින් 2021 වර්ෂය සඳහා අපේක්ෂිත අපනයන ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවත්, උත්සන්න වෙමින් පවතින මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවත අවධාරණය කර සිටී.

මෙම වසර මුලදී, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2021 වසර සඳහා තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.47 ක අපනයන ආදායමක් ඉපැයීමට අරමුණු කරගෙන සිටින නමුත් මූලිකව තේ සඳහා භාවිතා කරනු ලබන රසායනික පොහොර නොමැති වීමෙන් තේ අස්වැන්න අඩු වීම නිසා 2021 අවසන් වන විට හා ඉන් ඉදිරියට 30%-40% කින් පමණ ක‍්‍රමයෙන් ආදයම් අඩු වනු ඇතැයි කර්මාන්තය අපේක්ෂා කරන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරන කලාපීය වැවිලි සමාගම් (RPCs) පෙන්වා දෙයි.

සමස්තයක් ලෙස, 2021 මුල් මාස හත තුළ (ජූලි අවසානය දක්වා) තේ වලින් ඇමරිකානු ඩොලර් මිලියන 766 ක අපනයන ආදායමක් ශ‍්‍රී ලංකාව වාර්තා කළ අතර එය 2020 වසරේ එම කාලයට සාපේක්ෂව 9% ක වර්ධනයකි. දැඩි නියඟය හේතුවෙන් 2020දී අඩාල වූ තේ නිෂ්පාදනයට සාපේක්ෂව කාලගුණය යහපත් වීම නිසා 2021 වසරේදී නිෂ්පාදනය වැඩි වුවද එසේ වැඩි වූයේ සුළු ප‍්‍රමාණයකිනි. කෙසේවෙතත්, මෙම වර්ධනය 2019 අදාල කාල සීමාව හා සැසඳීමේදී 2021 වසරේ තේ නිෂ්පාදනය 4% ක අඩුවීමක් පෙන්නුම් කරයි.

මෙයට විසඳුමක් ලබා නොදුනහොත් 2021 වසරේ අපේක්ෂිත ඉලක්කයට අමතරව, 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක අපනයන ආදායමක් ඉපැයීමේ සිලෝන් ටී ඉලක්කය සපුරා ගැනීමට ද නොහැකි වනු ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

‘‘ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පැවතෙන ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළින් රටට අතිශය තීරණාත්මක මොහොතක එහි උපරිම හැකියාවෙන් අපනයන ආදායම් උත්පාදනය කිරීමට නොහැකි වීම සැබවින්ම කණගාටුවට කරුණක්. මෙය තේ කර්මාන්තයට මෙන්ම රටටත් විශාල අවාසිදායක තත්වයක් ලෙස පෙන්වා දිය හැකියි. කණගාටුවට කරුණ නම්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පෙන්වා දෙන පරිදි මෙහි භයානක ප‍්‍රතිඵල ඉදිරියට දැක ගත හැකි වීමයි. මෙයට වහාම විසඳුමක් ලබා නොදුනහොත් දිගු කාලීනව තේ වතුවල අස්වැන්න අඩු වීම නොවැළැක්විය හැකියි.” යනුවෙන් PA මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.

තේ ඵලදාව වැඩි කරගැනීම සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කාලයෙන් කාලයට යෙදීම සඳහා සුදුසු රසායනික පොහොර නොමැති විට මාස හයක් ඇතුළත තේ නිෂ්පාදනය 25% කින් අඩු වන අතර ඒ සමඟම තේවල ගුණාත්මකභාවය ද 40% සිට 50% දක්වා පිරිහෙන බව එම සංගමය දැනටමත් අනතුරු අඟවා තිබේ. තේ යනු වාර්ෂිකව වගා කළ යුතු බෝගයක් නොවීම (දිගු කාලීන) නිසා එයට ප‍්‍රමාණවත් පෝෂණයක් නොලැබීමෙන් වසර 25කට වැඩි ආයු කාලයක් ඇති තේ පැළයකට එහි ජීවිත කාලය පුරාවටම අහිතකර බලපෑම් ඇති විය හැකි බව සංගමය තවදුරටත් පෙන්වා දෙයි.

පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පෙර සිටම, තේ කර්මාන්තය සඳහා භාවිතා කරන ලද ප‍්‍රධාන වල් නාශකය රජය විසින් තහනම් කිරීම හේතුවෙන් සිලෝන් ටී සඳහා ඉතා වාසිදායී ජපන් වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට අහිමි විය. තේ සඳහා භාවිතා කරන පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය වෙනස් කළ විට සිලෝන් ටී හි අතිවිශිෂ්ට රසය හා අද්විතීය සුවඳ ආදී ගුණාංග ද වෙනස් වේ.

කලාපීය වැවිලි සමාගම් විසින් කළමනාකරණය කරනු ලබන මෙරට තේ වතුවලට පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය නිසි පරිදි යොදන බව සහතික කිරීම සඳහා අවශ්‍ය සියළුම ආරක්ෂක විධිවිධාන දැනටමත් ගෙන ඇත. යුරෝපීය රටවල ආහාර පාන සඳහා නීත්‍යානුකූලව අවසර දී ඇති රසායනික ද්‍රව්‍යවල උපරිම සීමාව ඇතුළුව තේ මිලදී ගන්නා අනෙක් රටවල දැඩි ප‍්‍රමිතීන්ට අනුකූලව අවශ්‍යතාවන් සපුරාලීමට කර්මාන්තයට ඇති හැකියාව මෙයට කදිම සාක්ෂියකි. කර්මාන්තය දැනටමත් ‘ඒකාබද්ධ කෘෂිකාර්මික’ ක‍්‍රමෝපායන් අනුගමනය කරන අතර එනිසා පළිබෝධකයින් පළවා හැරීම, රෝග වළක්වා ගැනීම සහ වල් පැලෑටි මර්දනය කිරීම සඳහා කෘෂි රසායනික ද්‍රව්‍යවලින් ඔබ්බට යමින් ස්වභාවික ක‍්‍රම භාවිතා කරනු ලබයි.

මීට අමතරව, වැවිලි සමාගම් ශ‍්‍රී ලංකාවේ තේ පර්යේෂණායතනය (TRI) විසින් නිර්දේශිත ක‍්‍රම පමණක් භාවිතා කරනු ලබයි. TRI තේ වගාව සඳහා කෘෂි රසායන භාවිතා කිරීමට ඉඩ සැලසීමේදී දැඩි පරීක්ෂණ හා අනුමැතිය ලබා දීමේ ක‍්‍රියාවලියක් අනුගමනය කරයි. මීට සමානව, RPCs තේ වගාවන්වලට පොහොර යෙදීමේදී TRI විසින් නිර්දේශ කරන ලද සීමාවන් දැඩි ලෙස අනුගමනය කරයි. ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය වඩාත් පාරිසරික හා ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ ඇගයීම්වලට හා සහතිකකරණයන්ට පාත‍්‍ර වී තිබේ.

වාණිජමය තේ නිෂ්පාදනය සඳහා වැය වන අධික පිරිවැය සැලකීමේදී කාබනික පොහොර පමණක් යෙදීම කළ නොහැකි බව කර්මාන්තය පෙන්වා දී තිබේ. එයට හේතුව නම් රසායනික පොහොර හා සසඳන විට කාබනික පොහොර සැලකිය යුතු ප‍්‍රමාණයක් යෙදීම අවශ්‍ය වීම හා ඒ සඳහා වැඩි සේවකයින් සංඛ්‍යාවක් අවශ්‍ය වීමයි. එයට අධික පිරිවැයක් දැරීමට සිදු වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ප‍්‍රමාණවත් පහසුකම් නොමැත. කාබනික තේ සඳහා තවමත් ඇත්තේ කුඩා වෙළෙඳපොලක් වන අතර එය තේ කර්මාන්තය තුළ තවමත් නැගී එන කර්මාන්තයක් ලෙස පෙන්වා දිය හැකිය.