බදු අඩු නොකළා නම් සීනි තියෙන්නේ එකසිය හැත්තෑපහේ – මුදල් ලේකම් ආටිගල

    March, 12, 2021

    සීනි සඳහා පනවා තිබුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට සත 25 දක්වා අඩු නොකළේ නම්, මේ වන විට වෙළෙඳපොළේ සීනි කිලෝ 1 ක මිල රු. 175 ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබුණු බවත්, එහිදී බදු අඩු කිරීම රාජ්‍ය ආදායම අහිමිවීමක් ලෙස ගණනය කිරීම නිවැරදි නොවන බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. අද (12) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මුදල් ලේකම්වරයා මේ බව අවධාරණය කළේය. තවද අද වන විට සීනි කිලෝවක ආනයනය වෙනුවෙන් දරන CIF (Cost, insurance, and freight)  පිරිවැය රු. 72 සිට රු. 90 දක්වා වැඩි වී ඇති බව ද ආටිගල මහතා මෙහිදී පැවසීය.

    මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙසේ කරුණු දැක්වීය.

    “අපි මේ සත 25 තවම වෙනස් කරලා නැහැ. සීනි 135 ට තිබුණු එක අද 115 ට අඩුවෙලා තියෙනවා.  CIF වටිනාකම රු. 72 සිට අද වෙන කොට රු. 90 දක්වා වැඩිවෙලා. මේක අඩු කළේ නැත්තන් සීනි 135 නෙමෙයි 175 විතර තියෙන්නේ. අද 115යි. ඒ ප්‍රතිලාභය ක්‍රමානුකූලව මහජනතාවට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ Oligopolistic මාර්කට් එකක් (කතිපයාධිකාරී වෙළෙඳපොළක්). පස් දෙනෙක් හය දෙනෙක් ඉන්නේ. මේ කට්ටිය තමයි 2015 ත් හිටියේ.“

    “එදා ඔක්තෝබර් 13 වෙනිදා සීනි රු. 50 සිට සත 25ට කිලෝ එකට අඩුකළා. ඊට අමතරව ළූණු, පරිප්පු, සැමන් වැනි තවත් භාණ්ඩ කිහිපයක අඩු කළා. පත්තරවල තියෙනවා, මුදල් අමාත්‍යාංශ්‍ය කිව්වා කියලා, බිලියන 15.9 ක් සීනිවලින් ආදායම අහිමි වීමක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බැහැ. එහෙම loss එකක් නැහැ. Public Finance Commission එක අපෙන් ඉල්ලුවා පෙබරවාරි මාසයේ 10 වෙනිදා දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය. එතකොට ඔක්තෝබර් 13 සිට පෙබරවාරි 10 දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය යම්කිසි ගණනක් තියෙනවා. ඒකට රු. 50 සිට සත 25 ට අඩුවුණු නිසා රු. 49.75 ක් එක කිලෝ එකකට අපිට ආදායම ලැබෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ, ඒක ආදායම් අහිමි වීමක් කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය.“

    රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුව රජය විවිධ අවස්ථාවල බදු අඩු වැඩි කරන බවත්, මහජනතාව වෙනුවෙන් බදු වෙනස් කිරීමේ සම්පූර්ණ අයිතිය ආණ්ඩුව සතු බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසූ අතර එලෙස බදු වෙනස් කිරීම හරහා ආදායමේ අඩුවීමක් සිදුනොවන බව අවධාරණය කළේය.