බහාලුම් ගැල් කොළඹ වරායට පැමිණෙයි

    May, 16, 2019

    භාණ්ඩ පරිවහනය සඳහා යොදා ගනු ලබන බහලුම් ගැල් 10 ක් අද දින කොළඹ වරායෙන් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංවර්ධන පුවත් ෆේස්බුක් පිටුවට අනුව මෙලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බහලුම් ප්‍රවාහන ගැල් ආනයනය කර ඇත්තේ වසර 30කට පසුවය. මේ අතර දැනට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව බහළුම් ප්‍රවාහන ගැල් ප්‍රමාණය 25ක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහළුම් ගැල් 20ක් ආනයනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අපේක්ෂා කරන අතර එයින් 10ක් අද පළමු අදියර යටතේ ආනයනය කර තිබේ.

    අඩි 40 බහළුම් ප්‍රවාහනය කළ හැකි මෙම එක් ගැලක වටිනාකම ඇමෙරිකා ඩොලර් 84,200ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 15ක් පමණ වේ.

    මේ අතර තවත් ඉන්ධන ප්‍රවාහන ගැල් 5ක්ද මේ සමඟ ආනයනය කර ඇත. ශ්‍රී ලංකාවට මෙලෙස ඉන්ධන ප්‍රවාහන ගැල් ආනයනය කර ඇත්තේ වසර 7කට පසුවය. එමෙන්ම තවත් ඉන්ධන ප්‍රවාහන ගැල් 25ක් ආනයනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සැලසුම් කර ඇත. මෙම ඉන්ධන ප්‍රවාහන ගැලක වටිනාකම ඇමෙරිකා ඩොලර් 85,500ක් පමණ වේ. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් එය රුපියල් මිලියන 15.2 ක් පමණ වන අතර ඉන්ධන ලීටර් 45,000ක් එම ගැලකින් ප්‍රවාහනය කළ හැකිය.