බාමි ආමි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩගනී

    December, 7, 2018

    පසුගිය ඔක්තෝබර් 26 වන දින ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන බලපෙරළිය සෘජුවම මෙරට සංචාරක කර්මාන්තයට අහිතරක අන්දමින් බලපෑ බව නොරහසකි.  කෙසේ වෙතත් මෙම අර්බුදකාරීත්වය මැද පසුගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 195,582 ක් දක්වා 16.8% කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව2018 වසරේ මුල් මාස 11 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය විසිලක්ෂය ඉක්මවා තිබේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2018 ජනවාරි - නොවැම්බර් කාලය තුළ 2,080,627 ක් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ නොවැම්බර් මාසයේ මෙරට ප්‍රධානතම සංචාරක මූලශ්‍රවලින් දෙවන තැන එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින්ට හිමිවීමයි. එය 21,971 ක් වන අතර 2017 නෙවැම්බර් මාසය හා සැසඳීමේ දී එය 61.1% ක වර්ධනයකි.

    නොවැම්බර් මාසයේ දී  එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයේන හේතු වී ඇත්තේ එංගලන්ත ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයයි. එංගලන්ත ක්‍රිකට් පිල විදෙස් සංචාරයක නිරත වන අවස්ථාවක දී ඔවුන්ගේ සහායට පැමිණෙන අතිවිශාල ‘බාමි ආමි‘ එංගලන්ත ක්‍රිකට්ලෝලීන් ගේ සහාය, මේ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට නොවැම්බර් මාසයේ දී දායක වී තිබේ.

    මේ අතර වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට ලෙසින් නොවැම්බර් මාසයේ දී සුපුරුදු පරිදි ඉන්දියාව පෙරමුණ ගෙන ඇති අතර 39,137 ක සංචාරකයින් සංඛ්‍යාවක් එහිදී පැමිණ තිබේ. එය 21.4% ක වර්ධනයකි.

    නොවැම්බර් මාසයේ දී චීන සංචාරකයින්ගේ පැමිණීම 1.8% කින් පහළ ගොස් ඇති අතර ප්‍රධන වශයෙන් යුරෝපා රටවලින් පැමිණි සංචාරකයින් ගේ ඉහළ යාමක් මෙහිදී වාර්තා වේ. ඒ අනුව සංචාරකයින් පැමිණි රට අනුව එක්සත් රාජධානිය 61.1% කින්, ජර්මනිය 89.6% කින්, ප්‍රංශය 22.4% කින්, ස්විස්ටර්ලන්තය 85.7 කින් යනා දී වශයෙන් මෙරට පැමිණි සංචාරකයින්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් 2018 නොවැම්බර් මාසයේ දී දැකගත හැකි විය.

    2018 නොවැම්බර් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම ඇතුලත් සංඛ්‍යා දත්ත පහතින් දැක්වේ.