බැංකු පොලියට වදින රැඳවුම් බද්ද රඳවා නොගන්න කළ යුතු දේ මෙන්න

    April, 23, 2025

    මහජනතාවගේ බැංකු තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5%ක රැඳවූම් බද්ද 10% දක්වා ඉහළ දැමීමට මෙවර අය වැයෙන් තීරණය කෙරුණි.

    නමුත් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 150,000 වඩා අඩු වන්නේ නම් එනම් එම පුද්ගලයාගේ වාර්ෂික තක්සේරු ආදායම ලක්ෂ 18 ඉක්මවා නොයන්නේනම්, එම පුද්ගලයාගෙන් මෙම 10%ක රැඳවුම් බද්ද අයකර ගැනීම සිදු නොවේ.

    තමන්ට එලෙස 10%ක රැඳවුම් බද්දෙන් නිදහස් වීමට නම් තමාගේ මාසික ආදායම රුපියල් 150,000කට අඩු මුදලක් බවට දැක්වෙන ලිඛිත සහතිකයක් TIN අංකය සමඟ බැංකුවට ඉදිරිපත් කළ යුතුය.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එසෙල මාසික පොළි ආදායම සම්බන්ධයෙන් බැංකුවට ලබාදෙන ස්වයං ප්‍රකාශනයක් හරහා අදාළ බද්දෙන් නිදහස් වියහැකි බවයි.

    කෙසේ වෙතත් මෙම තත්ත්යත් සමග ජනතාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ දිගු පෝළිම්වල රැඳී සිටින්නේ අදාළ TIN අංකය ලබාගැනීමේ අරමුණිනි.

    නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවසන්නේ, මෙලෙස රැඳවුම් බදු නිදහස් කර ගැනීමේ අරමුණින් TIN අංකය ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී සිටීමට අවශ්‍ය නොවන බවයි.

    දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත මහතා අද (23) මාධ්‍ය සාකාච්ඡාවකට එක් වෙමින් මේ පිළිබඳව පැහැදිළි කර සිටියේය.

    "අපි වි‍ශේෂයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විදිහට මේ සම්බන්ධයෙන් බැංකු සහ මූල්‍ය ආයතන එක්ක සාකාච්ඡාවට කිහිපයක් තියලා බැංකු වලට දැනුවත් කරලා බැංකු වලින් ඉල්ලීමක් කළා, මේ අවස්ථාවෙදි යම් බදු ගෙවන්නෙක් බැංකුව වෙත එනවනම් මගේ තක්සේරු වන ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි කියලා ඒ අයට මේ අවස්ථාවේ දි TIN අංකය කියන එක අත්‍යාවශය වුනත් මේ වෙලාවෙදි මේක පොඩ්ඩක් නැතුව ඉඩ තියලා ඒ ප්‍රකාශය ලබා ගන්න. ලබා ගන්න ගමන් ඒ පුද්ගලයාගේ විස්තර ඒ කියන්නේ TIN අංකයක් නැති පුද්ගලයාගේ විස්තර නම, ලිපිනය, දුරකතන අංකය වගේ අත්‍යාවශ්‍ය විස්කතර ටිකක් බැංකුව විසින් ලබා ගෙන ඒ දෙන ප්‍රකාශනය බාර ගන්න කියලා ඉල්ලීමක් බැංකු වලින් සහ මූල්‍ය ආයතන වලින් අපි කළා."