බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කළ නියාමන රාමුව ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන්  භාර දෙයි

    March, 29, 2021

    ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කරන ලද නියාමන රාමුව එය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන්  භාර දීම අද දින වෙළඳ අමාත්‍යංශ පරිශ්‍රයෙදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුවිය. ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන, ගරු රාජ්‍ය අමාත්‍ය, ජයන්ත සමරවීර මැතිතුමාට මෙන්ම  වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතාට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට  මහතාට නියාමන රාමුව නිල වශයෙන් භාරදීම වෙළඳ අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මැතිතුමන් විසින් සිදුකරන ලදි.

    මෙම අවස්තාව සදහා වෙළද අමාත්‍යංශයේ ලේඛම්, ජේ.එම්.බද්‍රාණි. ජයවර්ධන මහත්මිය, ගුදම් පහසුකම් ,බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේඛම්, ඩී. ඩී. මාතරආරච්චි මහතා, වරාය හා නාවික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ .එන්. කේ. සෝමරත්න මහත්මිය, වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ,සුරේෂ් ද මෙල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය ඇතුළු වෙළඳ නැව් මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ඩබ්ලිව්. සෙනෙවිරත්න මහතා, සීමාසහිත නීල් ප්‍රනාන්දු සහ සමාගමෙහි පරිපාලන අධ්‍යක්ෂ කපිල සුමනපාල මහතා, දනුෂා සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ජී. එස්. ප්‍රනාන්දු මහතා මෙන්ම වෙළඳ අමාත්‍යංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වුහ.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ගුණවර්ධන මහතා කියා සිටියේ රටේ අපනයන ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන විවිධාංගීකරණය, වෙළඳපල විවිධාංගීකරණය සහ නව්‍ය නිෂ්පාදන හඳුන්වාදීම මත උපාය මාර්ගය අනුගමනය කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන අතර එමඟින් බෝට්ටු කර්මාන්තය වැනි නැගී එන අංශයක් ඉහළ මට්ටමකට ගෙනයා හැකි බවයි.

    මේ අතර, මෙම කර්මාන්තය පිළිබඳව කිසිවෙකු අවධානය යොමු නොකරන අවස්ථාවක බෝට්ටු ගොඩනැඟීමේ කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික රාමුවක් සකස් කිරීම පිළිබඳව බෝට්ටු හා නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට සිය කෘතවේදීතාවය පළ කළේය.

    බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය, යාත්‍රා කිරීම සහ නාවික කටයුතු නියාමනය කිරීම සහ ශ්‍රී ලංකා මුහුදට වැඩි විදේශීය යාත්‍රා ආකර්ෂණය කර ගැනීම සහ වටිනාකම් දාමයේ සියලුම කොටස් ඇතුළත් වන පරිදි නිසි ලියාපදිංචි කිරීමේ රාමුවක් සකස්කිරීම කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණකිරීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලයෙහි සභාපති සුරේෂ් ද මෙල් මහතා  අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය(EDB) බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය ප්‍රමුඛ කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය අන්තර්ජාතික වෙළඳපොල වෙත විවිධාකාර නිෂ්පාදන හා සේවාවන් සපයන මෙරට නැගී එන කර්මාන්තයක් වශයෙන් ද හඳුනාගෙන ඇත. මෙම අංශය 2018-2022 වර්ෂයන්ට අදාළ ජාතික අපනයන උපායමාර්ගයේ ප්‍රධාන අංශයක් ලෙස හඳුනාගෙන තිබේ.

    වෙනත් අපනයන අංශයන්ට සාපේක්ෂව සමුද්‍ර සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සඳහා වන ඉඩප්‍ර‍ස්ථා ශ්‍රී ලංකාව තුළ වැඩි වෙමින් පවතී. එබැවින් යාත්‍රා ප්‍රඥප්තිය, යාත්‍රා නැවැත්වීම, ජල ක්‍රීඩා සහ වෙනත් බෝට්ටු හා විනෝදාත්මක ක්‍රියාකාරකම්, එනම් විනෝදය සඳහා මසුන් ඇල්ලීම, තල්මසුන් හා ඩොල්ෆින් නැරඹීම සඳහා මුහුදු විනෝද චාරිකා, කිමිදුම් ක්‍රීඩා ආදිය බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයට අදාළ  උපාය මාර්ග සංවර්ධනය කිරීමේදී සැලකිල්ලට ගනී.

    විනෝදාත්මක බෝට්ටු කර්මාන්තය සඳහා ප්‍රමිතිකරණය සහ තත්ව සහතික කිරීමේ පද්ධතියක් නොමැති වීම කර්මාන්තයේ දියුණුවට ඇති ප්‍රධාන බාධාවන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන ඇත. ධීවර බෝට්ටු සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටියක් තිබුණද, විනෝදාත්මක බෝට්ටු කර්මාන්තය සඳහා නිසි ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් දැනට නොමැත. මෙරට තුළ ක්‍රියාත්මක වන බොහෝ මගී බෝට්ටු ද ආරක්ෂිත ක්‍ර‍වේද අනුගමනය කරන්නේ මද වශයෙනි. එබැවින් විනෝදාත්මක බෝට්ටු සඳහා නියාමන රාමුවක් ස්ථාපිත කිරීම ඉතා වැදගත් වන අතර එමඟින් මගී ප්‍රවාහනයේදී භාවිත කරන බෝට්ටුවල ආරක්ෂාව සහතික කෙරෙනවා මෙන් ම  ප්‍රමිතියෙන් තොර බෝට්ටු රටට ආනයනය කිරීමේ ගැටළුව ද විසඳනු ඇත.

    එබැවින් බෝට්ටු නිෂ්පාදනය, යාත්‍රා කිරීම, මුහුද ආශ්‍රිත විනෝදාත්මක ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ ශ්‍රී ලංකා මුහුදු කලාපයට වැඩි විදේශීය යාත්‍රා ප්‍ර‍මාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා නිසි ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටියක් හා නියාමන රාමුවක් මෙන් ම නියාමන මණ්ඩලයක් ද අවශ්‍ය වේ. එබැවින් ජාතික ආර්ථිකය සඳහා මෙම අංශය සංවර්ධනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, 2018 අයවැය මඟින් බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයට නියාමන රාමුවක් සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අරමුදල් වෙන් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව මෙම නියාමන රාමුව සකස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග අතර උපදේශන සමාගමක සේවය ද පහත සඳහන් ක්ෂේත්‍ර‍ ආවරණය කිරීම සඳහා ලබා ගන්නා ලදී.

    උපදේශන සමාගම විසින් කර්මාන්තයේ අදාළ පාර්ශවකරුවන් සමඟ වැඩමුළු සහ උපදේශන රැස්වීම් ගණනාවක් පවත්වා නියාමන රාමුව සංවර්ධනය කිරීමේදී අදහස් හා යෝජනා ලබා ගන්නා ලදී. මේ වන විට ඔවුන් විසින් සකස් කරන ලද නියාමන රාමුවේ අවසාන අනුවාදය ඉදිරිපත් කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශිත රජයේ ආයතන වෙත භාරදීමට නියමිතය.

    මෙම නියාමන රාමුව අනුව 1990 අංක 46 දරණ කාර්මික ප්‍රවර්ධන පනත යටතේ “බෝට්ටු අංගන ලියාපදිංචි කිරීමේ රෙගුලාසි’’ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර යාත්‍රා කාණ්ඩ සහ සහතිකකරණය, ජල මාර්ග වර්ගීකරණය කිරීම, සම්මුති නොවන යාත්‍රා ලියාපදිංචි කිරීම, බෝට්ටු හිමිකරුවන්, බෝට්ටු ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය සඳහා බලපත්‍ර ලබා දීම 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

    1. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සියලු ම බෝට්ටු ලියාපදිංචි කිරීම හා නියාමනය(ධීවර බෝට්ටු හැර).
    2. ශ්‍රී ලංකා මුහුදු සීමාව ඇතුළත මුහුද ආශ්‍රිත විනෝදාත්මක ක්‍රියාකාරකම් හා රට තුළට පැමිණෙන විනෝදාත්මක බෝට්ටු හා යාත්‍රා ලියාපදිංචිය හා නියාමනය.
    3. බෝට්ටු ආනයනය කිරීම ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම

    ඒ අනුව, නියාමන රාමුව වරාය හා නාවික අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති වෙළද නැව් ලේකම් කාර්යාලයට හා කර්මාන්ත අමාත්‍යාංශය වෙත භාර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

    නියාමන රාමුවේ මෘදු පිටපත වරාය හා නාවික, කර්මාන්ත, වෙළඳ යන අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් වෙත යොමු කිරීම දැනටමත් සිදු කර ඇති අතර නියාමන රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා, නීති කෙටුම්පත්කරුගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු එය එම ආයතනය විසින් ගැසට් කිරීම සිදු කළ යුතුය.