මත්තල කොටස් කර විකුණනු ලැබේ

    August, 19, 2022

    මත්තල ගුවන් තොටුපල මේ වන විට මිලියන 100 ක පමණ පාඩුවක් ලබන බවත්, එය ඉදිකිරීම සඳහා ලබා ගත් ඩොලර් මිලියන 100 ක ණය මුදල ද නැවත ගෙවිය යුතුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ හේතුවෙන් මත්තල ගුවන් තොටුපල ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යභාරයක නිරත වීමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අනුව මත්තල ගුවන් තොටුපලේ යම් කොටස් ප්‍රමාණයක් විකිණීමට කටයුතු කරන බවයි.

    ඊයේ (18) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවක් අතරවාරයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

    මත්තල ගුවන් තොටුපල දැනට මිලියන 100 ක් පමණ පාඩු ලබන ගුවන් තොටුපලක්.  කොවිඩ් අර්බුදය සහ වෙනත් කාරණා මත එතන්ට ගුවන් යානා යන්නේ නැහැ. නමුත් අපට දෙවෙනි ගුවන් තොටුපලක් රටට අවශ්‍යයි.  මොකද යම් ආකාරයකින් මේ ගුවන් තොටුපලේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත්, අපිට ආපහු ඉන්ියාවට ගුවන් යානා හරවන්න බැහැ. ඒ නිසා එක්තරා ආකාරයකින් මත්තල ගුවන් තොටුපල තියෙන්නේ අපේ තවත් ආරක්ෂිත ගුවන් තොටුපලක් හැටියට. එතකොට විනාඩි 20කින් විතර එතන්ට ගුවන් යානා යවන්න පුළුවන්. නමුත් එය ආදායම් උපදවන ගුවන් තොටුපලක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසා අපි දැන් ඒ ස්ථානයේ ගුවන් යානා සඳහා වෙනත් විවිධ පහසුකම් ලබා දීම පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරලා ඒ සඳහා අපි ලෝකයේ සෑම රටකම ගුවන් යානා සමාගම් සහ ව්‍යවසායකයින්ට යෝජනා ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එය සාර්ථක වෙයි කියලා හිතනවා. ඒ වගේම ඒ ගුවන් තොටුපල ඩොලර් මිලියන 100ක පමණ ණයක් අරන් අපි හදලා තියෙන්නේ. ඒ ණය අපි ගෙවිය යුතුයි. ඒ නිසා අපි ඒ ගුවන් තොටුපලේ කාර්යයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යභාරයක අපි යෙදෙන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි ඉදිරියේ දී කරගෙන යනවා. මෙහි පළවෙනි පියවර ඒ ගුවන් තොටුපලට ආදායම් ලබා ගැනීම සඳහා අපි ගෙනයන වැඩපිළිවෙල අසාර්ථක වුණොත්. සමාගමේ යම් කොටස් ප්‍රමාණයක් විකුණනවා.