මත්ස්‍ය අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනේ

    July, 18, 2018

    මත්ස්‍ය අපනයයෙන් ශ්‍රී ලංකාව උපයන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම පහ (1.5) දක්වා ඉහළ නැංවීම සදහා මත්ස්‍ය අපනයනය ශක්තිමත් කිරීමටත්, ඒ සඳහා පවතින ගැටළු කඩිනමින් විසදිමටත් ඉතාම කෙටිකාලයක් තුළ කටයුතු කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (17) පැවති සාකච්ජාවකදී තීරණය කළේය.

    මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් සමග මෙම සකාච්ජාව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී ඊයේ (17) දහවල් පැවැත්විණ.

    එහිදී මත්ස්‍ය අපනයන කරුවන් මුහුණ දී සිටින ගැටළු මෙන්ම මත්ස්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය ආයෝජන වැඩිකරගැනීම පිලිබදව මෙම සාකච්ජාවේදී වැඩි අවධානයක් යොමු විය.

    ඉන්දියානු සාගර කලාපිය ටුනා කොමිසමේ නිර්ණායක හා අන්තර්ජාතික නීතීන්ට අනුකුලව මත්ස්‍ය සම්පත නෙලාගැනීම , ලංකාවට අයත් මුහුදු කලාපයේ මත්ස්‍ය ගහනය නිවැරදිව හදුනාගැනීම , ජාත්‍යන්තර මුහුදු සිමාවේ මත්ස්‍ය සම්පත නෙලාගැනීම , පසු අස්වනු හානිය අවම කරමින් නෙලාගන්නා මත්ස්‍ය සම්පත රැගෙන ඒම , අපනයට සුදුසු ප්‍රමිතියෙන් ඉහල මත්ස්‍ය අපනයනය මගින් ඉහල විදේශ විනිමයක් රටට ලබාගැනීමට කටයුතු කිරීම සිය අරමුණ බව මෙම සාකච්ජාව ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

    ඒ සදහා රජයක් ලෙස ධිවර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මගින් සිදුකල යුතු හා දැනට සිදුකරන කටයුතු ඉතාමක් කාර්යක්‍ෂම කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, අවම ඉන්ධන දහනයක් මෙන්ම අවම පිරිවැයක් දරා වැඩි මත්ස්‍ය ප්‍රමාණයක් නෙලාගැනීම සදහා දැනට ලෝකයේ භාවිත කරන තාක්ෂණික මෙවලම් සහ ක්‍රමෝපායන් හදුන්වාදීම සදහා ගෙන ඇති පියවර පැහැදිළි කළේය .

    අයිස් වෙනුවට ශිත කල වතුර භාවිතය මගින් නෙලාගන්නා මත්ස්‍ය සම්පත ඉහල ගුණාත්මකභාවයකින් යුක්තව අවම හානියක් යටතේ ගොඩබිමට රැගෙන ඒම පිලිබදව අපනයන කරුවන් මෙම සාකච්ජාවේදී කරුණු ඉදිරිපත් කළහ . ඔවුන් පෙන්වා දුන්නේ සැටලයිට් තාක්‍ෂණය සහිත නවීන යාත්‍රා ධිවර කර්මාන්තයට එක් කරගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බවය .

    ලංකාවට අයත් මුහුදු සිමාවේ ධිවර කර්මාන්තයේ නිරතවීම සදහා නියමු ව්‍යාපෘතියක් යටතේ එවැනි යාත්‍රා සදහා අවසර ලබාදිය හැකි බව මෙහිදී පැවසු ධිවර දෙපාර්තමේන්තු නිලධාරීන් එම නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය අධ්‍යනය කිරීමෙන් අනතුරුව එවැනි යාත්‍රා සදහා තවදුරටත් අවසර ලබාදෙන්නේද යන්න තීරණය කළහැකි බවය .

    මත්ස්‍ය අපනයනය මගින් ශ්‍රී ලංකාව ලබන විදේශ විනිමය ඩොලර් මිලියන 280 සිට ඩොලර් බිලියන 1.5 දක්වා ඉදිරි වසර කිහිපය තුල ඉහල නංවාගැනීමේ රජයේ ඉලක්කය ජයගැනීම වෙනුවෙන් කැපවීමට තමන් සුදානම් බව මෙහිදී මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමය පැවසුහ .

    ඊට අමතරව මත්ස්‍ය කර්මාන්තයේ ආයෝජනය සදහා විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට තමන්ට හැකියාවක් පවතින බව සදහන් කළ අපනයන කරුවන් ඒ සදහා දැනට පවතින ගැටළු කිහිපයක් ඉදිරිපත් කළහ .

    මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අපනයන කරුවන්ගේ සංගමයට පෙන්වා දුන්නේ සතියක් ඇතුළත එම ගැටළු ලිඛිතව තමන් වෙත ඉදිරිපත් කරන ලෙසය . එම ගැටළු පිලිබදව විෂය භාර ඇමතිවරයා සමඟ මෙන්ම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ජා කර එම ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කරන බවට සහතිකයක් මත්ස්‍ය අපනයන කරුවන්ට ලබාදුන්නේය.

    ධිවර කර්මාන්තයේ දත්ත රැස්කිරීම , එම දත්ත විශ්ලේෂණය , ලබාගන්නා දත්ත හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ජා වුහ .

    ඒ සදහා නාරා ආයතනයේ සහය ලබාගැනීමටත් , ශ්‍රී ලංකා මුහුදු සිමාවේ මත්ස්‍ය ගහනය පිලිබදව දැනට සිදුකර ඇති පර්යේෂණවල ප්‍රගතිය පිලිබදව සොයාබැලීමට මෙන්ම ඒ ඇසුරින් මත්ස්‍ය සම්පත උපරිමයෙන් නෙලාගැනීම පිලිබදව ධිවර ජනතාව දැනුවත් කිරීමට සහ නීති විරෝධී පන්න ක්‍රම මගින් මත්ස්‍ය සම්පත වදවීමේ අවදානම පිලිබදවත් දැනුවත් කර නව තාක්‍ෂණය පිලිබදව කුඩා බෝට්ටු හිමියන් සහ එම බෝට්ටු වලින් ධිවර කර්මාන්තයේ නිරත ධිවරයින් දැනුවත් කිරීම පිලිබදවත් , ඔවුන්ට එමගින් අත්වන වැඩි ලාභය පිලිබදව ලබාදෙන අවබෝධය සමග ඔවුන් නීති විරෝධී ධිවර පන්න ක්‍රමවලින් ඈත් කරගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී පෙන්වා දුන්නේය .