මධ්‍යම පරිසර අධිකාරිය ඉන්සි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් නිරීක්ෂණය කරයි

June, 9, 2017

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියම තේරීම වන ඉන්සි සිමෙන්ති ආයතනය ශබ්ද දූෂණය වැළැක්වීම සඳහා වැදගත් සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටුකරනු ලබන ආයතනයකි.

ඉන්සි සමූහයේ කාර්මික අපද්‍රව්‍ය කළමනාකාරණ අංශය වන ඉන්සි Ecocycle වැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති සමාගම  අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකා ජාතික හරිත සම්මාන දිනාගැනීමට ද සමත්විය.

මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක් පසුගියදා පුත්තලමේ පිහිටි ඉන්සි නිෂ්පාදන කර්මාන්තශාලාව වෙත ගොස් ඉන්සි සමාගම විධිමත් අයුරින් අපද්‍රව්‍ය කළමනාකරණය සිදුකරන අන්දම නිරීක්ෂණය කළහ. පරිසර ආරක්ෂණ බලපත්‍රයක්ද සමගින් මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයට ඉන්සි සමාගම ලබාදෙන දායකත්වය දැකගැනීමේ අවස්ථාව ඔවුන්ට එහිදී හිමිවිය.

මධ්‍යම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, පරිසර දූෂණ වැළැක්වීමේ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක, අධ්‍යක්ෂ එම්. ශිවකුමාර්,  අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර යන මහත්වරු එම සංචාරයට එක්ව සිටියහ.

“පරිසරය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම සඳහා ඉන්සි සමාගම ලබාදෙන දායකත්වය ඉතාම ප්‍රශංසනීයයි. ඔවුන් භාවිත කරන විශිෂ්ට පරිසර ආරක්ෂණ ක්‍රමවේද තුළින් අපේ රටේ පාරිසරික තිරසාර බව වඩාත් ශක්තිමත් කෙරෙනවා” යනුවෙන් මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය.

ඉන්සි සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා මෙසේ සිය අදහස් පළ කළේය. “අපද්‍රව්‍ය කළමනාකරණය කියන්නේ අපේ රටට පමණක් නොවෙයි මුළු මහත් ලෝකයටම වැදගත් වෙලා තිබෙන කාරණයක්. එවන් පසුබිමක ශ්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය කළමනාකරණයට සුවිශේෂී දායකත්වයක් සැපයීමට ලැබීම පිළිබඳ අපි නිහතමානී සතුටක් ලබනවා. විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයක් පැවතීම දිගුකාලීන පරිසර ආරක්ෂණයට ඉතාම වැදගත්. මේ ආකාරයට පැහැබර අනාගතයන් උදාකිරීම සඳහා දායකවීමට ලැබීමත් අපට විශාල සතුටක්”.

සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී විශේෂයෙන්ම පෝරණුවේ ක්‍රියාකාරීත්වය සඳහා සෙල්සියස් අංශක 1450ක අධික උෂ්ණත්වයක් තිබිය යුතුය. ඊට සමගාමීව කාර්මික අපද්‍රව්‍ය වන රසායනික ද්‍රව්‍ය, රෙදි, ද්‍රාවණ ආදිය ද බැහැර කෙරෙන ආකාරය මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට දැකගත හැකිවිය. ගෙවුණු වසර 14ක කාලය තුළ මෙරට රජයේ හා පෞද්ගලික අංශයේ කර්මාන්තායතන 350කට වැඩි සංඛ්‍යාවක කාර්මික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් බැහැරකිරීමට ඉන්සි සමත්ව තිබේ. මේ මොහොත වනවිට අපද්‍රව්‍ය කළමනාකරණ යනු ශ්‍රී ලංකාව තුළ දැවැන්ත අර්බුදයක් වී ඇති පසුබිමක ඉන්සි සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය නැරඹීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහභාගී වූයේ විශාල උනන්දුවක් ප්‍රකට කරමිනි.