මන්චි ජාතික ආධුනික ශූරතා වොලිබෝල් තරගාවලියේ ජයග්‍රහණය ඕෂන් ලංකා හිමි කර ගනියි

January, 3, 2020

ඕෂන් ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම (OCL Sharks), කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින්, 2019 මන්චි 12 වැනි ජාතික ආධුනික වොලිබෝල් තරගාවලියෙහි ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. එම ප්‍රතිඵලයත් සමගින් රටේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ තරගාවලියෙහි ස්වකීය කුළුඳුල් නාමය සටහන් කිරීමට ඕෂන් ලංකා කණ්ඩායමට හැකි විණි.

මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියෙහි ආරම්භක තරගය පරාජය වීමෙන් ඉක්බිති යළිත් තරගයට අවතීර්ණ වූ ඕෂන් ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම තුනට-දෙකක් (29-31, 25-22, 25-22, 27-25) වශයෙන් ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය. උපනායක ගයාන් මල්ලිකාරත්න හොඳම ක්‍රීඩකයා වශයෙන්ද, චතුරංග රාජපක්ෂ හොඳම පන්දු සකසන්නා වශයෙන්ද ඇගයීමට පාත්‍ර විණි.

“පෞද්ගලික අංශය නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායමක් වශයෙන්, ජාතික මට්ටමින් ක්‍රීඩා කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් අප මෙහෙය වූ පුහුණුකරුවන් හා සහායක කාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය පුද කරනවා. ඒ සියලු දේටම වඩා ඕෂන් ලංකා කළමණාකාරිත්වයෙන් හා කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහය අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.”  ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායමේ, කළමණාකරු රුවන්සිරි මල්ලිකාරච්චි ජයග්‍රහණයෙන් අනතුරුව සඳහන් කළේය.

මෙම ජයග්‍රහණයට අමතරව ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායමට, 2019 මර්කන්ටයිල් වොලිබෝල් සුපර් ලීග් ශූරතා තරගාවලියද ජයගත හැකි විය.

ජයග්‍රාහී කණ්ඩායම, නායක බුද්ධික බණ්ඩාර, උප නායක ගයාන් මල්ලිකාරත්න, අජිත් කුමාර, අශේන් පීරීස්, චතුරංග රාජපක්ෂ, මොහොමඩ් මීසාන්, පසිඳු සඳරුවන්, රවිඳු චතුරංග, සොලමන් මධුෂාන්, සුපුන් චන්දන, කසුන් දිලාන්, රංගන සම්පත්, අමිල මාලින්ද හා තාරුක සුබෝධ යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වෙයි.